
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැඳුර, අප ආදරණීය දේව මෑණියන්ට කැපකර වසර අටක් සම්පූර්ණ වූයේ පසුගිය අගෝස්තු 11 වෙනි දිනටයි.
මෙම උතුම් අවස්ථාව සමරමින්, ලබන සෙනසුරාදා, එනම් අගෝස්තු 29 වෙනි දා, සවස 6 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින්, නිරා සර්පයා තම දෙපයින් පාගාගෙන සිටින ඉපැරණි දේව මාතා ප්රතිමාවෙන් ද සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලබනවා.
2018 අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස දිවයිනේ සතර අතින් ගැලූ මහා ජන ගංගාවක් මැද අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, දර්ශණ දෙව්මැඳුර ආශිර්වාද කර, නිර්මල කන්ය මරිය තුමියට භාර දුන්නේ, “මාගේ ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව් මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි” යනුවෙන් නිර්මල කන්ය මරිය තුමිය ම, ශ්රී ලංකාවේ, කටුනායක, එතුමිය දර්ශණය වූ ස්ථානයේ, කුඩා දෙව්මැඳුරක් ඉඳිකරන ලෙස කරනු ලැබූ ඉල්ලීම නිසයි. එසේ කිරීම එතුමියගේ උතුම් ආශාවක් බව ද පැවසූ නිසයි.
මේ අනුව ප්රතිසංස්කරණය කරනු ලැබූ දර්ශණ දෙව්මැඳුර දයාබර මෑණියන්ගේ දෝතට භාරදී වසර 8 ක් සම්පූර්ණ වීමේ සංවත්සරය, ලබන සෙනසුරාදා, එනම් අගෝස්තු 29 වෙනි දා, සවස 6 ට සමරණු ලබන්නේ, මරිය තුමියගේ ඉල්ලීම අසාගත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙනුයි. අභිනව දර්ශණ දෙව් මැඳුර, ආසිරි ගන්වා වසර අටක් සම්පූර්ණ වන අතරේ, මරිය තුමිය ද, අට වරක්, මේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත එතුමියගේ ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ පතුරුවා ඇති බව විශේෂයෙන් සඳහන් කල යුතුමයි.
mediamin August 26th, 2026
Posted In:
ලොව විවිධ ප්රදේශයන් හි දර්ශණය වූ නිර්මල කන්ය මරිය මාතාවෝ, ඒවායින් ස්ථාන කීපයක දී පමණක්, එතුමිය දර්ශණය වූ ස්ථානයෙහි දෙව්මැඳුරක් එතුමියගේ නාමයට ඉදිකරන ලෙස ඉල්ලා සිටියා.
නිර්මල කන්ය මරිය මාතාවෝ ශ්රී ලංකාවේ දී දර්ශණය වූ ප්රථම අවස්ථාව වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි දර්ශණය වීමයි. 1975 පෙබ්රවාරි 5 වෙනි දින සවස එතුමිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ ජීවමානව ම පෙනී සිටිමින් දර්ශණය වූ අතර, මේ වන තුරු විසිතුන් වතාවක් දර්ශණය වී තිබෙනවා.
1976 මැයි මස 11 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ට, මරිය තුමී දර්ශණය වී, “මාගේ ආදර දරුව, මෙම ස්ථානයෙහි මා නමට කුඩා දෙව් මැඳුරක් ඉදිකරන්න. එය මගේ උතුම් ආශාවකි” යනුවෙන් කරනු ලැබූ අතර, මෙම පණිවිඩය ඇසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මරිය තුමියගේ ආශාව, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ද ආශාව බවට පත්කර ගනිමින්, දෙමාපියන් වෙතින් තමන්ට ලැබුණ, උපන් දා සිට හැදුන වැඩුන නිවස, එදත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ පුද්ගලීක ධනයෙන්, ලහි ලහියේ දෙව්මැඳුරක් බවට පරිවර්තනය කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා. එහි ප්රතිඵලයක් වශයෙන් වර්ෂ 1976 දෙසැම්බර් මස 6 වෙනි දින උදේ, කටුනායක අප ස්වාමිදූගේ දෙව්මැඳුර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වහන්සේගේ සුරතින් අභිෂේක කර, මරියෝතමාවන්, “කටුනායක අප ස්වාමිදූ” වශයෙන් ප්රකාශයට පත් කර, දෙව් මවු ප්රතිමාවට උන්වහන්සේගේම සුරතින් රන් ඔටුණු පළඳවනු ලැබුවා.
ඉන්පසු පියවරෙන් පියවර විවිධ අංග එකතු වෙමින් ඉදිරියට පැමිණි දර්ශණ දෙව්මැඳුර, වර්ෂ 2016 දී පමණ, දැවැන්ත ප්රතිසංස්කරණයකට ලක් කරනු ලැබූ අතර, පැරණි දර්ශණ දෙව් මැඳුර මතින් අලංකාර දර්ශණ දෙව්මැඳුරක් ඉදිවී 2018 අගෝස්තු 11 වෙනි දින, අභිනව දර්ශණ දෙව්මැඳුර, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ආශිර්වාද කර විවෘත කරනු ලැබුවා.
මේ දැවැන්ත ප්රතිසංස්කරණ ක්රියාවලියේ බර තම හිස උඩ තබා ගනිමින්, මේ දැවැන්ත පියවර මෙහෙයවනු ලැබුවේ, අපොස්තලික මාධ්ය අධ්යක්ෂක මනෝජ් චින්තක මහතා විසිනුයි.
2018 අගෝස්තු 18 වෙනි දින නිර්මල මරිය තුමියගේ ආශාව ඉටුකරමින්, එතුමිය ට භාරදුන් අභිනව දර්ශණ දෙව්මැඳුරේ 8 වන සංවත්සර සමරා, අගෝස්තු 15 වෙනි සෙනසුරාදා සවස 6 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් මංගල දිව්ය පූජාව දර්ශණ දෙව්මැඳුර තුල දී පැවැත්වෙන අතර, නිර්මල දේව මාතා ප්රතිමාවෙන් සැදැහැවතුන් ආසිරි ගැන්වීම ද, ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කිරීම ද, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් සිදු කරනු ලබනවා.
අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සම්පූර්ණ වන අතරේ, දර්ශණ දෙව්මැඳුර තුල තැන්පත් කර ඇති, ජේසු බිළිඳුන් අත දරා සිටින මරිය තුමියගේ ප්රතිමාවෙන් අට වාරයක් ප්රාතිහාර්්යාත්මක ලෙස පිච්ච මල් සුවඳ පතුරුවාලීමට මරිය තුමිය අභිප්රාය කර තිබීම ද විශේෂත්වයක්.
මෙහි ඡායාරූපයෙන් ඔබට පෙනෙන්නේ 2018 අගෝස්තු 11 වෙනි දින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අභිනව දර්ශණ දෙව්මැඳුර තුලට ඇතුළුවන අන්දමයි
mediamin August 12th, 2026
Posted In:
මගේ බිරිඳ ප්රථම දරු ප්රසූතිය සඳහා සූදානම් වෙමිනුයි සිටියේ. දරු ප්රසූතිය සඳහා රෝහලට ඇතුළු වීමට වෛද්යවරයා ලබා දී තිබුණ දිනයට සති එකහමාරකට කලින් බිරිඳට උණ ගැනුනා. ඉතාමත් අධික ලෙස උණ පැවතුන නිසාත්, බොහෝ අමාරුව සිටි නිසාත්, ලේ පරීක්ෂණ කිහිපයක් ම වෛද්යවරයා විසින් නියම කලා. එම පරීක්ෂණවලට අනුව බිරිඳට ඩෙංගු රෝගය සෑදී ඇති බව තහවුරු වුනා. වෛද්යවරයා පැවසුවේ, ඩෙංගු රෝගය තරමක් අමාරු බවත්, විශේෂයෙන් මගේ බිරිඳ දැන් සිටින තත්වය අනුව ඉක්මනින් ම රෝහලට ඇතූලුවීම අත්යවශ්ය බවත්, මේ සඳහා හොඳම ක්රමය වන්නේ, දරු ප්රසූතිය සඳහා මගේ බිරිඳව බලනු ලැබූ වෛද්යවරයාව ඉතා ඉක්මනින්ම සමුවී ඔහුගේ උපදෙස් අනුව කටයුතු කිරීම බවත් ය.
අප නිවසට ආසන්නව පුද්ගලීක බෙහෙත් ශාලාවක් පවත්වාගෙන යන මේ වෛද්යවරයාගේ උපදෙස් අනුව, මම වහාම පියවර ගත්තේ හැකි ඉක්මනින් අදාල විශේෂඥ වෛද්යවරයා වෙතට මගේ බිරිඳව රැගෙන යාමටයි.
කොහොමහරි කඩිනමින් ම විශේෂඥ වෛද්යවරයාව සමුවන්නට අපට අවස්ථාව සැලසුනා. මගේ බිරිඳවත්, ලේ පරීක්ෂණ වාර්තාවනුත් පරීක්ෂා කල වෛද්යවරයා නළල රැලි ගන්වාගෙන, බිරිඳව වහාම රෝහලට ඇතුලත් කිරීම සඳහා ලිපියක් දුන්නා. බිරිඳට නොතේරෙන ආකාරයට වෛද්යවරයා ඉතා සෙමින් මට පැවසුවේ, තත්වය ඉතාමත්ම භයානක බවත්, බොහෝ විට දරුවා නැතිවීමට ඉඩ ඇති බවත්, කොහොමහරි බිරිඳව බේරා ගැනීමත් ලොකු වගකීමක් බවත් පවසා, කණගාටු මුහුණින් මගේ පිටට තට්ටු කලා.
ඉතා ඉක්මනින් ම බිරිඳව රෝහලට ඇතුළත් කලා. බිරිඳ වාට්ටුවේ සිටියේ පැය කීපයක් පමණයි. ඇයට හොඳට ම අමාරු වුනා. ඇය අසාධ්ය තත්වයට පත්වෙන්න වැඩි වේලාවක් ගත වුනේ නැහැ. ඉක්මනින් ම බිරිඳව දැඩි සත්කාර ඒකකයට සාත්තු සේවකයන් සහ හෙදියන් විසින් ඉතා කඩිනමින් අරගෙන ගියා.
ටික වේලාවකට පසුව කරුණාවන්ත හෙදියක් දැඩි සත්කාර ඒකකය ඇතුලේ සිට පිටතට පැමිණියා. මම ඇය වෙතට දුවගෙන ගියා. ඇය ඉතාමත් හැඟුම්බරව මට පැවසුවේ, මගේ බිරිඳගේ තත්වය ඉතාමත් අවදානම් බවත්, අඩුතරමින් කුසයේ සිටින දරුවාවවත් බේරාගැනීම සඳහා සැත්කමක් කිරීම ද මේ වෙලාවේ දුෂ්කර බවත්, කොහොමත් මේ වෙලාවේ ධෛර්්යයෙන් සිටින ලෙසත් ය. එසේ පවසා මා වෙතින් ඉවත්ව කොරිඩෝව දිගේ ඇවිදගෙන ගිය ඈ, තරමක් දුරගොස් නැවත ආපසු හැරී ඇවිත් මට මෙහෙම කිව්වා. “මට පුළුවන් ඔයාට පොඩි උදව්වක් කරන්න. ඔයා මං ගැන මොනවා හිතයි ද දන්නෙ නැහැ. ඔයා කැමති නම් මේ වෙලාවෙ දෙවියන්ට කන්නලව් කරන්න. දෙවියන්ට කන්නලව් කරනවානම් මෙතන ඉඳගෙන ඒක කරන්න බැහැ. ඔයා යන්න ඕන, කටුනායක. කටුනායක තියනවා දේව මෑණියන්ගේ පල්ලියක්. මහා පුදුම හාස්කම් තමයි සිද්ධ වෙන්නෙ. මටත් අත්දැකීම් කීපයක් ම තියෙනවා. හැබැයි විශ්වාසයෙන් යන්න ඕනා. ඔයා පිළිගන්නවානම් පිළිගන්න, ඒ පල්ලියට දේව මෑණියො හැබහින් ම එනවා. එක වෙලාවකට ප්රතිමාවෙන් සුවඳ එනවා. මහා පුදුම දේවල් වෙන්නෙ. දැන් අද සිකුරාදනෙ. හෙට යන්න. සෙනසුරාදා සවස 6 ට තමයි දේව මෙහෙය පටන් ගන්නෙ.
ඉතින් අර හෙදිය කිව්ව විදිහට, පසුවදා සෙනසුරාදා, මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයාගෙන ගියා. මම යනකොට වෙලාව සවස 5 ට විතර ඇති. ඒ වෙනකොටත් බැතිමතුන් විශාල පිරිසක් රැස්ව සිටියා. ඒ අතර සිටි එක් මහත්මයෙක් සමග මම කතා කලා. ඔහු කටුනායක සිද්ධස්ථානයේ සිදුවන හාස්කම් ගැන බොහෝ තොරතුරු මාත් එක්ක කිව්වා. ඒ දවසේ කුරුසියේ ආශිර්වාදය ලබාදෙන බවත්, එය ලබා ගැනීමට ඉක්මනින් පත්රිකාවක් ලබාගන්නා ලෙසටත් ඔහු කිව්වා. මම ඉක්මනින්ම ගොස් කුරුසියේ ආශිර්වාදය ලබා ගැනීමට පත්රිකාවක් ලබා ගත්තා. මගේ විස්තරය දැනගත් අර කිව්ව මහත්මයා මට කිව්වා, මේ දෙන කුරුසියේ ආශිර්වාදය බොහෝම බලවත්, හාස්කම් සිදුවෙන ආශිර්වාදයක් බවත්, මේ අපොස්තුළුතුමන්ට දේව මෑණියන් ම ඉගැන්වූ වචන වගයක් ඒ වෙලාවට කියන බවත්, කුරුසිය හිස මත තබත්දී, අසාධ්යව සිටින බිරිඳවත්, දරුවාවත් සිහිකරන්න කිව්වා.
ඉන්පසු ටික වේලාවකින්, හාස්කම් යාච්ඤාව කියනු ලබන, දේව මෑණියන්ගේ ප්රතිමාව තැන්පත් කර ඇති ස්ථානයට අප දෙදෙනාටම යන්නට අවස්ථාව ලැබුනා. මම දර්ශණ ඉටිපහන් තුනක් ලබා ගත්තා. බිරිඳවත්, කුසයේ සිටින දරුවාත්, මාත් වෙනුවෙන්. අර විස්තර කිවූ මහත්මයා තමයි මට දර්ශණ ඉටිපහන් ගැන කිව්වෙ. ඔහුත් දර්ශණ ඉටිපහන් අරගෙන තිබුණා. එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් දිව්ය සත්ප්රසාද ආශිර්වාදය සමග හාස්කම් යාච්ඤාව පැවැත් වුනා.
එයින් පසුව පූජාසනයෙන් පිටත්ව ගිය ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, කෙටි වේලාවකින් කුරුසිය රැගෙන නැවත පූජාසනයට පැමිණියා. ඒ අතර වාරයේ මා සමග සිටි මහත්මයා කටුනායක දේව මෑණියන්ගේ සිද්ධස්ථානය ගැන තවත් බොහෝම දේවල් මාත් සමග කිව්වා. ඔහු සෑම සෙනසුරාදාවකම කටුනායක මේ සිද්ධස්ථානයට පැමිණෙන බවත්, ඔහු මේ වන විට බොහෝ පිහිට ලබාගෙන ඇති බවත්, ඇත්තටම අද ඔහු ජීවත්වෙන්නේ, සෙනසුරාදා සවස මේ සිද්ධස්ථානයෙන් ලබාගන්නා ආශිර්වාදයෙන් බවත්, ඔහු මට පැවසුවා. ඔහු මට කිව්ව දේවල් නිසා මම පුදුමයෙනුයි අසාගෙන සිටියේ.
අර මහත්මයාටත් මටත් කුරුසියේ ආශිර්වාදය ලබා ගැනීමේ වෙලාව එලඹුනා. මට ඉස්සරහින් සිටි ඒ මහතා පළමුවෙන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණගසා ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබා ගත්තා. ඉන්පසුව මට අවස්ථාව ලැබුණා. මම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණ ගැසුවා. උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා. “මේ ආශිර්වාදය අසාධ්යව සිටින මාගේ බිරිඳටත්, කුසයේ සිටින දරුවාටත් ලැබේවා`” කියලා මම සිතින් සිහිපත් කලා. එවිට වේලාව රාත්රී 9.30 ට විතර ඇති. කුරුසියේ ආශිර්වාදය ලබාගත් පසුව මම අර මහත්මයාට කිව්වා මට වෙච්ච සිද්ධිය. ඔහු කිව්වා බොහෝම හොඳ ලකුණක්. බය වෙන්න එපා, දෙදෙනාම බේරෙනවා. සමහර විට මේ වෙත්දී සනීප වෙලාත් ඇති කියලා.
පසුව ඒ කරුණාවන්ත මහත්මයා, මට කිව්වා ඔහු යන පාරෙන් පොඩ්ඩක් හරවාගෙන ගියහම රෝහලට යන්න පුළුවන්, මාව රෝහල ලඟින් දාන්නම්, ඔයා බිරිඳගේ තත්වය බලන්න කියලා. මම නිකමට වගේ, කටුනායක සිද්ධස්ථානය ගැන කිව්ව හෙදියට දුරකතන ඇමතුමක් ගත්තා, ඒ වෙනකොට වෙලාව රාත්රී 11 ට විතර ඇති. ඒ කරුණාවන්ත හෙදිය, ක්ෂණිකව පිළිතුරු දුන්නා. මම කිසිවක් කියන්න පෙර, ඇය ඇසුවා, ‘ඔයා කටුනායක ගියාද’ කියලා. මම කිව්වා, ‘ඔවු ගියා, මේ එන ගමන්, මට මහ පුදුම දෙයක් වුනා’ කියලා. එවිට අර කරුණාවන්ත හෙදිය කිව්වා, ‘ඔවු ඔවු ඔය පුදුම දේ මෙහෙත් වුනා. හොඳ වෙලාවට අද මම ඩියුටි. රෑ නවයාමාරට විතර මට පිච්ච මල් සුවඳක් ආවා. කටුනායක පල්ලිය ගැන මම දන්න නිසා මම හිතුවා මොකක් හරි හොඳ දෙයක් කියලා. මම ඔයාගේ නෝනව බැලුවා, උණ සම්පූර්ණයෙන්ම බැහැලා, බඩේ දරුවත් හෙමිහිට දඟලනවා’ කියලා ඒ හෙදිය මට සතුටින් කිව්වා. එන්න පුළුවන්ද කියලත් ඇසුවා. මම අර මහත්මයාට විස්තරය කිව්වා. ඔහුට හරිම සන්තෝශයි. ‘මම කිව්වෙ, මම කිව්වෙ, ඕකනෙ මම කිව්වෙ, කටුනායක ගිහින් විශ්වාසයෙන් ඉල්ලුවොත් වරදින්නෙ නැහැ කියල’ ඔහු කිව්වා.
පසුව අපි දෙදෙනාම රෝහලට ගියා. රාත්රී 12ට විතර ඇති. බොහෝම අමාරුවෙන්, අර හෙදිය නිසා, මට විතරක් ඇතුලට යන්න පුළුවන් වුනා. අර කරුණාවන්ත හෙදිය මගෙන් විස්තර ඇසුවා. ඇය කිව්වා සිද්ධිය වුනේ රාත්රී නවයහමාරට විතර කියලා. මම කිව්වා මට කුරුසිය තැබුවේත්, රාත්රී නවයහමාරට විතර කියලා. පසුව ටික වේලාවකට මාව බිරිඳ ලඟට අරගෙන ගියා. ඇය හොඳ සුවයෙන් සිටියා. ‘මට දැන් සනීපයි’ ඇය කිව්වා.
අර හෙදිය කිව්වා, ‘දැන් ඔයා ගෙදර යන්න. හෙට බොහෝ දුරට සාමාන්ය වාට්ටුවට දාන්න පුළුවන් වෙයි’ කියලා. පසුදින වෛද්ය පරීක්ෂණ, ලේ පරීක්ෂණ කීපයකට පසු බිරිඳව සාමාන්ය වාට්ටුවට දැම්මා. ඊට දින තුනකට පසු, නියම බර ප්රමාණයෙන් යුතුව, නිරෝගී දරුවෙකු කිසිදු කරදරයක් නැතිව ප්රසූත කිරීමට මගේ බිරිඳට හැකියාව ලැබුණා.
“මේ කෙනා සනීප වෙච්ච හැටි හිතාගන්නවත් බැහැ, හරිම පුදුමයි” කියලා වෛද්යවරයා, අර හෙදිය සමග කිව්වයි කියලා, ඒ කරුණාවන්ත හෙදිය මට කිව්වා.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන, ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය අපට ලබා දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ගැන, රෝහලේ දී හමු වූ කරුණාවන්ත හෙදිය ගැන, කටුණායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මට හමු වූ කරුණාවන්ත බැතිමත් මහත්මයා ගැන මම දැන් මීළඟට කුමක් ලියන්නද කියලා මටවත් සිතා ගන්නට බැහැ.
එදා ඒ සෙනසුරාදා රාත්රී 9.30 ට පමණ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මගේ හිස මත කුරුසිය තබන විට මට දැනුන සීතල, ඒ වෙලාවෙම රෝහලේ හෙදියට දැනුන පිච්ච මල් සුවඳ, ඒ වෙලාවට ම මගේ බිරිඳ සුවය ලැබීම, මේවා ගැන සිතත් දී, මට මතක්වෙන්නේ, පේදුරු අපොස්තුළු තුමාගේ නැන්දණියගේ මවගේ උණ රෝගය, ජේසුස් ක්රිස්තුස් වහන්සේ ඇයගේ අත අල්ලා ක්ෂණයකින් සුවකල අයුරු පිළිබඳව, ශුද්ධවූ බයිබලයේ සඳහන් ප්රාතිහාර්්යාත්මක කතාවයි. මගේ කතාව ඊටත් වඩා උසස්ව සිදුවුන ප්රාතිහාර්්යයක්. මෙතනදීත් ක්රිස්තුස් වහන්සේගේ කුරුසිය සමග අපොස්තුළුතුමෙක් සම්බන්ධ වෙලා, මගේ බිරිඳවත්, දරුවාවත් බේරා ගත්තා.
ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කරනු ලබන්නේ පෙබ්රවාරි මාසය දක්වා පමණක් බව මට දැනගන්නට ලැබුණා. ඒ ඇයිදැයි මම දන්නේ නැහැ. දේව තීරණවලට අත තියන්නවත්, හේතු අහන්නවත් අපිට බැහැ. එහෙත් මේ කුරුසියේ ආශිර්වාදය ජනතාවට විශාල සෙතක්. එය නැතිවුනොත් සියල්ලන්ට ම පාඩුවක්. කුරුසියේ ආශිර්වාදය ලබා දෙන සෑම දිනයකම කුරුසියේ ආශිර්වාදය ලබා ගැනීම අපගේ ජීවිතවලට ලොකුම පිහිටක්, වාසනාවක්.
තිළිණ දූරංග පෙරේරා – බත්තරමුල්ල
mediamin April 23rd, 2025
Posted In:
ලොව පුරා ක්රිස්තියාණි ජනතාව ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ 2024 වෙනි සංවත්සරය සමරත් දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ජීවිතය තුල පනස් වන වරටත් ජේසුස් ක්රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හෙවත් නත්තල 2024 නත්තල් මැදියම් රැයේ දී සමරණු ලැබීම ඉතිහාස ගතවෙන සිදුවීමක්.
ස්වර්ණ ජුබිලි නත්තල් දිව්ය පූජාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පුද කරනු ලැබූවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුලයි. විවිධ ප්රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් දර්ශණ දෙව්මැඳුර තුල මෙන්ම දර්ශණ භූමිය පුරා ද රැස්ව සිටි අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මෙලොව මෙම ජීවිත සමයේ, මේ මහා පෘතුවිය ස්පර්ෂ කිරීමෙන් පසුව උන්වහන්සේගේ ජීවිතයට උදා වූ හැටඅට වන නත්තල එයයි.
ජේසුස් ක්රිස්තුස් වහන්සේ මේ ලෝකයේ ජීවතුන් අතර සිටියදී තෝරාගනු ලැබූ අපොස්තුළුවරුන් සංඛ්යාව දොළොසක් වන අතර, උන්වහන්සේ ස්වර්ගාරෝහණයෙන් පසුව මෙලොවට දර්ශණය වී තෝරාගනු ලැබූ අපොස්තුළුවරුන්ගේ සංඛ්යාව දෙදෙනෙක්. සිරියාවේ, දමස්කස් නගරයේ දී, දර්ශණය වී තෝරාගනු ලැබූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමා, දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමයි. මේ සියළු අපොස්තුළුවරුන් මේ වන විට මෙලොව ජීවතුන් අතර නොමැති අතර, ජේසුස් ක්රිස්තුස් වහන්සේ ශ්රී ලංකාවේ, කටුනායක නගරයේ දී, දර්ශණය වී තෝරාගනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පමණක් දැනට අප අතර ජීවත් වෙයි.
1975 පෙබ්රවාරි 7 වෙනි දින අපොස්තුළුවරයෙන් පිදුම් ලැබූ උන්වහන්සේ, සිය ප්රථම නත්තල් දිව්ය පූජාව පවත්වනු ලැබුවේ, 1975 දෙසැම්බර් 24 වෙනි දින මධ්යම රාත්රියේ දී යි. ඒ අනුව 2024 දෙසැම්බර් 24 වෙනි දින මධ්යම රාත්රියේ උන්වහන්සේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල දී පුද කරනු ලැබුවේ, සිය අපොස්තුළු දිවියේ පනස් වෙනි නත්තල් මංගල දිව්ය පූජාවයි. වසර පනහකට පෙර ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්රථම නත්තල් දිව්ය පූජා මෙහෙය පවත්වනු ලැබූ ස්ථානයේ ම, මෙදා පනස් වෙනි නත්තල් මංගල පූජාව පැවැත්වීම ද විශේෂත්වයක්.
ඒ වගේම තවත් කිව යුතු ම කරුණක්. ජේසුස් ක්රිස්තුස් වහන්සේ තෝරාගනු ලැබූ අපොස්තුළුතුමන්ලා අතරින්, අපොස්තුළුතුමෙකු ලෙස මේ වන විට අවුරුදු පනහක් ජීවත් වූ දෙවන අපොස්තුළුතුමා වන්නේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමයි. අපොස්තුළු දිවිය තුල අවුරුදු පනහක් ජීවත් වූ පළමු අපොස්තුළුතුමා වූයේ ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළුතුමා වන අතර, 2025 පෙබ්රවාරි 7 වෙනි දිනය මේ වන විට පසුකර සිටින අප ශ්රී ලාංකික ප්රථම අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අවුරුදු දෙදහසකට ආසන්න කාලයක් තුල, මෙළොව ජීවිතය රැකගත් ඒ පළමුවන අපොස්තුළුතුමාගේ වාර්තාව මේ වන විට බිඳ දමා තිබෙනවා.
ජේසුස් ක්රිස්තුස් වහන්සේ මෙළොව ජීවත්ව සිටිය දී තෝරාගනු ලැබූ අපොස්තුළුවරු දොළොස්දෙනා අතරින් එක් අයෙක් වූ ජුදාස් සිය දිවි හානිකරගනු ලැබූ අතර, ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළුතුළුතුමා හැරුණකොට අනික් සියළුම අපොස්තුළු තුමන්ලා මරා දමනු ලැබුවා. උතුරන තෙල් කටාරමක් තුල ගිල්වා ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළුතුළුතුමන්ව ද මරා දමන්නට උත්සහ කරනු ලැබුවත්, එය ව්යර්ත වූ නිසා, ඒ මොහොතේ උන්වහන්සේ මරණයෙන් බේරුණා. පසුව ශුද්ධෝත්තම ජුවාම් අපොස්තුළුතුළුතුමා මිනිසුන්ගෙන් වෙන් වී, ජන ශුන්ය ප්රදේශයක තනිව හුදකලාව ජීවත් වීමට පටන් ගත්තා. ඒ නිසාම අවුරුදු සියයකටත් වැඩිකාලයක් ජීවත්ව ස්වභාවික අන්දමින් අභාවප්රාප්ත වුනා.
ජේසුස් ක්රිස්තුස් වහන්සේ දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමාව තොරාගනු ලැබුවේ ක්රිස්තු වර්ෂ 35 දී පමණ වන අතර, ක්රිස්තු වර්ෂ 65 දී හිස කඳින් වෙන්කර මරා දමනු ලැබූ බැවින්, එම අපොස්තුළුතුමන්ට ද, අපොස්තුළුතුමෙක් ලෙස මෙලොව ජීවත් වන්නට ලැබුණේ වසර තිහක් වැනි කාලයක් පමණයි.
1975 පෙබ්රවාරි 7 වෙනි දින, ‘අපොස්තුළුවරය’ නැමැති දිව්ය පත්වීම ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මේ ලෝකයේදී ක්රිස්තුභක්තිකයෙකුට ලබාගත හැකි, අති ශ්රෙෂ්ඨ, ඉහළම පත්වීම ලබාගැනීමට හිමිකම් ලැබූවා. සියළු ක්රිස්තියාණින්ගේ නායකයාණන් වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ විසින්ම දානය කරනු ලැබූ මෙම පත්වීම, වර්ෂ දෙදහස් විසිහතරක් තුල ලබාගෙන ඇති සංඛ්යාව දසසතර දෙනෙක් පමණයි. අවසානයට අපොස්තුළුවරයෙන් පිදුම් ලද දසසතරවැන්නා වූයේ, දැනට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩසිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝයි.
2024 දෙසැම්බර් 24 වෙනි දා මධ්යම රාත්රියේ ඇරඹි නත්තල් දිව්ය පූජා මෙහෙය ආරම්භ කිරීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉතාමත් සන්සුන් ගමනින් දර්ශණ දෙව්මැදුරට පිවිසියා.
රන්වන් පූජා ඇඳුමින් සැරසී සිටි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ‘බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්රතිමාවෙන්’ සියළුම බැතිමතුන්ව ආසිරි ගන්වනු ලැබුවා.
mediamin April 23rd, 2025
Posted In:
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු 4 දී, උන්වහන්සේගේ මව “පුතේ මේ තමයි දේව මෑණියො” කියා පෙන්වනු ලැබූ දෙව් මවු ප්රතිමාව පිළිබඳව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ම සැදැහැවතුන්ට විස්තර කරනු ලැබූ අවස්ථාවක්
නිර්මල කන්ය මරිය මාතාවෝ ශ්රී ලංකාවේ දී ප්රථම වරට දර්ශණය වූයේ 1975 පෙබ්රවාරි 5 වෙනි දිනයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ ජීවමානව ම පෙනී සිටි ඒ ස්වර්ගීය උත්තමාවිය මෙතෙක් ගෙවීගිය පනස් වසරක් තුල 23 වතාවක් දර්ශණය වී තිබෙනවා. මරිය මාතාවන්ගේ ප්රථම දර්ශණයට අඩසිය වසරක් සපිරුණ මේ ස්වර්ණ ජුබිලි වර්ෂය තුල දී ඒ උත්තමාවිය නැවතත් අප මධ්යයේ දර්ශණය වනු ඇතැයි බොහෝ සැදැහැවතුන් අපේක්ෂාවෙන් පසුවෙනවා.
2023 සැප්තැම්බර් 16 වෙනි සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවත්වනු ලැබූ දේශණයේ දී උන්වහන්සේට නිර්මල මරිය මාතාවන් ප්රථම වරට දර්ශණය වූ අවස්ථාව සම්බන්ධව විස්තර කරනු ලැබූ අතර, මෙහි පලවන්නේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ එම දේශණය යි.
මාගේ ප්රේමවන්ත පිංවත් දරුවෙනි,
දුර මග ගෙවාගෙන බොහෝ පැතුම්, ගැටළු දේව මෑණියන්ට ඔප්පු කිරීම සඳහා සුදුසුම ස්ථානය සොයාගෙන පැමිණි ඔබ සියලු දෙනාගේම ඒ උතුම් ප්රාර්ථනාවන් ඔබගේ විශ්වාසය පෙරදැරිකරගෙන ඉෂ්ඨ වේවායි මා ප්රථමයෙන් ප්රාර්ථනා කරනවා. මාගේ ප්රේමවන්ත දරුවෙනි, නිර්මල කන්ය මරිය වහන්සේ විසිතුන් වරක් පය ගැසු, එතුමිය දර්ශනය වු භූමියටයි ඔබ මේ පැමිණ සිටින්නේ. මම විශ්වාස කරනවා ඔබ ඒ බව විශ්වාස කරගෙනයි මේ මොහොතේ මා ඉදිරිපිට වාඩි වී සිටින්නේ කියලා. ඒ විශ්වාසය ඇතුවයි අද මා මේ මොහොතේ ඔබව අමතන්නේ. ඔබ මේ සිද්ධස්ථානේදී නිර්මල කන්ය මරිය වහන්සේ තුන් වරක් නොවෙයි, දහතුන් වරක් නොවෙයි, විසිතුන් වරක් දර්ශනය වූ බව විශ්වාසය ඇතුවයි මේ රැඳී සිටින්නේ කියන විශ්වාසය මගේ හිතේ තියාගෙනයි මම ඔබට කථා කරන්නේ. මොකද එවැනි විශ්වාසයකින් තොරවනම් ඔබ ඉන්නේ, මේ කියන්නට යන කිසිවක් ඔබට සුදුසු වෙන්නෙ නැහැ. එවැනි විශ්වාසයක් නැත්තම් එවැනි අයට හරියන්නේ වෙනත් ප්රකාශයක්, වෙනත් දේශනයක්.
ප්රේමවන්ත දරුවෙනි, 1975 පෙබ්රවාරි මාසයේ 5 වෙනිදා සවස නිර්මල කන්ය මරිය වහන්සේ පළමුවන වරට මා හට දර්ශනය වු අවස්ථාව, ඇත්තටම එතුමියව මට හමුවු අවස්ථාව, ජීවිතේ පළමු වරට එතුමිය හමු වු අවස්ථාව මට අද වගේ මතකයි. අමතක කරන්න බැහැ. කාටද අමතක කරන්න පුළුවන්. මේ වෙලාවෙ ඔබ මගෙන් අහන්නට පුළුවන් මෙහෙම දෙයක්. “පියාණෙනි, අපිට කියන්න ඔබවහන්සේට ඒ වෙලාවෙ මොනවද හිතුනෙ? නිර්මල කන්ය මරිය වහන්සේ ජීවමානව ඔබවහන්සේ ඉදිරියේ පෙනී සිටිද්දි, ඔබවහන්සේට මොනවද හිතුනෙ? කියන්ඩ කියන්ඩ පියාණෙනි.” ඉතින් එයට මං මෙහෙම පිළිතුරු දෙන්න කැමතියි. ඇත්තටම මට මොකුත් හිතුනෙ නෑ. මට හිතුනෙ එක දෙයයි. ‘ආ දේව මෑණියො’. මෙවැනි අවස්ථාවක් ඔබගේ ජීවිතයේ, නිකම් හිතලා බලන්ඩ ඔබට මෙවැනි අවස්ථාවක් ආවොත් මොනව හිතෙයිද? ඔය ටිකම තමයි හිතෙන්නේ. ‘ආ දේව මෑණියො’. එදා ඒ දර්ශනය, එතුමිය කථා කරපු දේවල් මම කිව්ව දේවල් මම අහගෙන හිටියා මිසක් කිසිවක් මම අහන්නට ගියේ නැහැ. ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි. කුමක්ද මේ? එදා එතුමිය කිව්ව දේවල් අහගෙන, බොහෝම කෙටි වගන්ති දෙකයි එදා කිව්වේ. නැවත එන බවක් තුන්වෙනි වාක්යය හැටියට කිව්වා. ඔබ මගෙන් අර පළමු ප්රශ්නය ඇහැව්වනම්, මෑණියන්ව දැක්ක ගමන් මොනවද හිතුනෙ කියලා එයට පිළිතුරු ඔච්චරයි. දැන් ඔබට තව ප්රශ්නයක් අහන්නට හිතට එන්නට ම ඕන. “ඉතින් පියාණනි, අපිට කියන්න ඊට පස්සෙ මොනවද ඔබවහන්සේට හිතුනෙ, ඔබවහන්සේට මොනවද හිතුනෙ එතුමිය ඉවත් වෙලා ගියාට පස්සෙ? අන්න එතන තමයි නියම පිළිතුර තියෙන්නෙ. ඇත්තටම මට හිතුනෙ ඊට අවුරුදු ගණනාවකට කලින් ප්රතිමාවක් පෙන්වලා මගේ අම්මා මට කිව්ව වාක්යයක්. “පුතේ මේ තමයි දේව මෑණියො” ඒ කතාව කෙටියෙන් මෙහෙමයි. මට වයස අවුරුදු 4 දි, මගේ මව දේව මෑණියන්ගේ ප්රතිමාවක් පෙන්නලා මට කිව්වා, “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. ඉතින් එදා ඒ වයස අවුරුදු 4 පුංචි කොල්ලා, මම හිතුවා මේ ප්රතිමාව දේව මෑණියො කියලා. දේව මෑණියො කියන්නෙ කවුද? නැත්තම් මොකක්ද කියලා මට හැඟීමක් දැනීමක් තිබුනෙ නෑ. පෑනක් පෙන්නලා පුතේ මේක තමයි පෑන කිව්වා වගේ තමයි ප්රතිමාව පෙන්නලා මේ තමයි දේව මෑණියො කියලා කිව්ව කතාව. එදා 1975 පෙබ්රවාරි 5 වෙනිදා සවස පළමුවන දර්ශනයෙන් පස්සෙ බොහෝම කෙටි වේලාවකින්, මම කල්පනා කරද්දි මට ඔළුවට ආව පළවෙනි සිද්ධිය මගේ මව දේව මෑණියන්ගෙ ප්රතිමාවක් පෙන්නලා මට කිව්වා, “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. නමුත් අවුරුදු 4 කොල්ලා ඊට පස්සේ ටික ටික වයසින් වැඩෙද්දි දේව මෑණියො කියන්නෙ ප්රතිමාවක් නොවන බව දැනගෙන තිබුනා. 1975 පෙබ්රවාරි 5 වෙනිදා ඔය පළමු දේව මෑණියන්ගෙ දර්ශනය සිද්ධ වෙද්දි මම දැනගෙන තිබුනා දේව මෑණියො කියන්නෙ ප්රතිමාවක් නොවන බවත්, එතුමිය ස්වර්ගයේ ජීවමානව ආත්ම ශරීර පිටින් වැඩ සිටින බවත්, විවිධ ස්ථාන වල මරිය තුමී යම් යම් පුද්ගලයන්ට දර්ශනය වෙලා තියෙන බවත් මම දැනගෙන තිබුනා. නමුත් ඒ දර්ශනය වීම යම් දවසක මට ද උදාවෙයි කියලා මම හිතුවෙ නෑ. කොහොමත්ම හිතුවෙ නෑ. මෙය සිද්ධ වුනේ මම බොහොම ලාබාල වයසෙදි. යම් දවසක මරණින් පස්සෙ එතුමිය දැක ගන්නට ඕන කියන අදහසක්වත්, එහෙම දෙයක්වත් ඒ කාලෙ තිබුනෙ නෑ. ඇත්තටම මම දැනගෙන තිබුනෙ අපිට පිහිටක් ඕන වෙනකොට කියන්නට ඕනා කියන්න හොඳම කෙනා තමයි කියලා මරිය තුමී. දැන් ඔයගොල්ලොත් සමහර විට ඔහොම නේද මරිය තුමී ගැන හිතන්නේ. තමුන්ට යම් කරදරයක්, යම්කිසි පීඩාවක්, යම්කිසි උපද්රවයක් උනහම අපිට කියන්ඩ ඉන්න හොඳම කෙනා තමයි මරිය තුමී. එතනින් එහා ඔයගොල්ලො බලන්ඩ හිතලා බලන්ඩ ඔයගොල්ලන්ගෙ අදහසක් තිබුනද කියලා, අපි හොඳට ජීවත් වෙන්න ඕනා, අපි යම් දවසක ස්වර්ගය දිනා ගන්නට ඕන, එහිදි අපිත් මේ මරිය තුමියව දකින්නට ඕන කියන අදහසක් තිබුනෙ නෑ නේද?. මට තිබුනෙත් නෑ. ඒකට හේතුව මරිය තුමීව අපිට හඳුන්වලා දුන්නු අයගෙ ඉගැන්වීම. බොහෝ දෙනෙක්ගේ කල්පනාව මරිය තුමී සම්බන්ධව ඒ විදිහයි. නමුත් මරිය තුමිය සම්බන්ධව ඊට එහා ගිය පැත්තක් තියෙනවා. අපි අන්න ඒක දැනගන්නට ඕන. ඇත්තටම මරිය තුමියව මේ විදිහට දැකගන්නට, එතුමියත් එක්ක කථා කරන්නට, එතුමියත් එක්ක හිනා වෙන්නට, ජේසුස් ස්වාමින් වහන්සේගේ බාල කාලය ගැන එතුමියගෙන් අහලා දැනගන්නට සිද්ධ වෙන තරම් එදා ඒ සිදුවීම විසිතුන් වාරයක් දක්වා දිවයයි කියලා එදානම් මම හිතුවෙ නෑ. නැවත වරක් පැමිණෙන බව ප්රකාශ කළාට එය විසිතුන් වරක් දිව යනවා කියලා මම හිතුවෙ නෑ. තවමත් මේ දර්ශන මාලාව ඉවර නැද්ද අපි දන්නෙත් නෑ. මොකද මම තවම ජීවතුන් අතර ඉන්නවා.
ඉතින් ප්රේමවන්ත දරුවෙනි, මරිය තුමියගේ ඒ පණිවිඩත් සමග කලින් කල විටින් විට සිදුවෙච්ච දේවලුත් සමග ජනතාව මෙම සිද්ධස්ථානය වටා ඇවිල්ලා, ජනතාව මෙම සිද්ධස්ථානය තුල රොක් වෙලා විවිධ පිහිට වරප්රසාද ලබා ගනිත් දී, එතුමිය ජනතාව වෙත, ඒ කියන්නෙ ඔයගොල්ලො වෙත දක්වපු අනුග්රහය පිලිබඳව ඇත්තෙන්ම මම මවිත වුනා. මරිය තුමිය දෙවියන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් සිදු කරන ඒ මධ්යස්ථකාරී බලය පිලිබඳව, ඇත්තෙන්ම ඔබලා ලබා ගන්නාවු, ඒ මධ්යස්ථවීමෙන් ලබා ගන්නාවු පිහිට ගැන හිතද්දි මම මවිත වෙනවා. නමුත් එතුමියගේ ඒ මධ්යස්ථකාරී බලය අපට පුදුමාකාර විදිහට තේරුම් ගත හැකි සිද්ධියක් ලූක් තුමාගේ සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔබට මතකයි නේද මාස 6 ක ගැබිණියකව සිටි එළිසබෙත් තුමියව දකින්නට මරිය තුමී ගියා. දන්නවා නේද ඒ සිද්ධිය. මතකද? අත උස්සන්ඩ බලන්ඩ. හොඳයි. සමහර අය දන්නෙ නෑ වගේ. හොඳයි, අද ගෙදර ගිහිල්ලා කියවලා බලන්න, ශුද්ධවු බයිබලයේ ලූකස් තුමාගේ සුවිශේෂේ පළමුවන පරිච්ඡේදය. මං මේ කියන්ඩ යන වගන්තිය 41 වෙනි වගන්තිය. එහි සඳහන් වෙනවා, “එළිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසු සැනින් ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට විය.” කොහොමද වැඩේ. එතකොට මරිය තුමියගේ කුසයේ ඉන්නෙ කවුද? දේව පුත්රයා. මනුෂ්ය පුත්රයා හැටියට එතුමියගේ කුසයේ. ඇයගේ ඥාතිවු එළිසබෙත්ගෙ කුසයේ මාස 6 ක්, සයමස් ගැබිණියක්, පණිවිඩය දුන්නේ ගාබි්රයෙල් දේව දූතයා, ස්නාවක ජුවාම් තුමා. කලලයට මාස 6 යි. ගාබි්රයෙල් දේව දූතයාගෙන් දැන ගත්තු පණිවිඩය ඔස්සේ තමයි මරිය තුමී එතුමියගේ ඥාති වන එළිසබෙත් තුමියව දැක ගන්නට ගියේ. මරිය තුමිය ගිය ගමන්ම එළිසබෙත්ට ආචාර කෙරුවයි කියලා තියෙනවා. ඊළඟට කියනවා, “එළිසබෙත්, මරිය තුමියගේ ආචාර බස් ඇසු සැනින් ඇගේ කුසෙහි දරුවා ප්රීතියෙන් ඉපිලෙන්නට විය” කියලා. බලන්න මරිය තුමියගේ හඬ` මරිය තුමියගේ හඬ, ඔව් මේ උඩින් ඉන්න මරිය තුමියගේ හඬ කොච්චර බලගතුද? එළිසබෙත් තුමියගේ කුසේ හිටපු දරුවා ප්රීතියෙන් දඟලන්නට පටන් ගත්තා. ඔව් ප්රේමවන්ත දරුවෙනි, එදා ඉඳන්ම මරිය තුමියගේ හඬ, අපිට අපගේ සියලු උවදුරු වලදී, අපගේ සියලු අවශ්යතා වලදී, එතුමියගේ හඬ තමයි අපගේ හදවත් ප්රීතියෙන් ඉපිලී යන්නේ. එතුමියගේ හඬ විසිතුන් වරක් ශ්රවණය වෙච්ච භූමියේ අපි මේ ඉන්නේ. ඒ නිසයි ඔබගේ සියලු උවදුරු වලදි විශ්වාසයෙන් ඉල්ලනකොට ඔබට සැනසීම දීලා ඔබට ප්රීතියෙන් ඉපිලෙන්නට සලස්වන්නේ. මේක තමයි කතාව. අදටත් ඔබේ හඬ, ඔබේ අඳෝනාව, මෙතෙන්ට ඇවිල්ලා මරිය තුමීට නගද්දි, ඔබගේ හඬින්, මරිය තුමියගේ හදවතත් දුකින් වැලපිලා ඔයගොල්ලන්ට පිහිට වරප්රසාද ලබා දෙනවා. අන්න ඒ ප්රාතිහාර්්යය තමයි සෑම සෙනසුරාදාවකම සවස මේ යාච්ඤාව තුලින් සිද්ධ වෙලා, ඒ යාච්ඤාවට ජනතාව අතරින්ම නමක් පටබැඳුනේ ‘හාස්කම් යාච්ඤාව’ කියලා.
ඉතින් අවසානකොට මේ ටිකත් කියන්නට ඕනා. අර මං කිව්වා නේද මගේ මව මට ප්රතිමාව පෙන්නලා කිව්වා කියලා “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. ඒ ප්රතිමාව තවමත් මං ළඟ තියෙනවා. තවමත් මං ළඟ තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට හිතෙන්න ඕන මගෙන් අහන්න තව ප්රශ්නයක්. පියාණනි, අපිට කියන්න ඒ ප්රතිමාවෙ තියෙන මුහුණයි ජීවමානව ඔබවහන්සේ දැක්ක මරිය තුමියගෙ මුහුණයි එක වගේ ද, නැත්තම් දෙකක් ද? ටිකක් අමාරුවෙ වැටෙන ප්රශ්නයක්. ඇත්තටම ඒ ප්රතිමාව මගේ පියා හරහා තමයි ගෙනල්ලා තිබුනෙ. මගෙ පියා බෞද්ධ. ඒ පියා තමයි ඒ ප්රතිමාව තෝරගෙන තිබුනෙ. ඒක දිග කතාවක්. ඒ දිග කතාව දැනට තුන් වරක් ම මම කියලා තියෙනවා. ඒ ප්රතිමාවෙ තිබෙන දේව මෑණියන්ගේ රූපය ඇත්තටම නිර්මාණය කරපු ශිල්පියා, ඒ කියන්නෙ දැන් අවුරුදු කීයකට ඉස්සෙල්ලා වෙන්න ඕනද? අවුරුදු 60 ගාණකට ඉස්සෙල්ලා. දැන් තව මාස කීපෙකින් මට අවුරුදු 67 යි. මම නම් එහෙම හිතන්නෙ නෑ. ඉතින් ඒ පැරණි ප්රතිමාවෙ, ඇත්තෙන්ම ඒ වගේ ප්රතිමාවක්, ඒ වගේ මුහුණක් දැන් කාලෙ ශිල්පියෙක් හදයි ද කියලා මට හිතන්නත් අමාරුයි. නමුත් ඒ ප්රතිමාවෙ තිබුන මුහුණට, ජීවමාන මරිය තුමියගෙ මුහුණ සමාන නෑ, මොකක්ද අසමානතාවය? ඒ ප්රතිමාවෙන් පෙන්නන මරිය තුමියට වඩා ඇත්තටම එතුමිය හරි ශෝභාසම්පන්නයි. ඒ නිසා එතුමිය තරුණ පාටයි. මට ප්රතිමා නෙලීමේ ශිල්පය තිබුනනම්, මම හදනවා මම දැක්ක මරිය තුමියගේ ප්රතිමාව. අවාසනාව කියන්නේ මෙතෙක් කාලයක් මරිය තුමිය ලෝකේ විවිධ තැන් වල දර්ශනය වෙලා තියෙනවා. ලූර්දුවේ වේවා, පාතිමාවේ වේවා. විවිධ ස්ථාන වල මරිය තුමිය දර්ශනය වෙලා තියෙනවා. මරිය තුමිය දැක ගත්තු කිසිම කෙනෙකුට මේ හැකියාව තිබුනෙ නෑනෙ. මේ ප්රතිමා නෙලීමේ මේ ශිල්පය පිලිබඳ දැනීමක් තිබුනෙ නෑ. එහෙම තිබුනනම් ඒගොල්ලො ඒ වැඩේ කරනවා. මට තිබුනනම් මමත් ඒ වැඩේ කරනවා. ඉතින් සිද්ධ වෙන්නේ ප්රතිමා නෙලීමේ හැකියාව ඇති ශිල්පියෙක් තෝරාගෙන, ඒ ශිල්පියාට කියලා අපිට ඕන විදිහට මේ ප්රතිමාව මට උවමනා පිලිවෙලට ප්රතිමාව නිර්මාණය කිරීම. කවුරුත් කළේ එහෙමයි. මාත් කළේ එහෙමයි. ඉතින් එය බොහෝ දුරට සමානයි කියලා කියන්නත් බෑ. කොහොමත් ඉතින් හැකිතාක් උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහයට මරිය තුමිය ඉහලින්ම අපිට ආශිර්වාද කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්රතිමාව තුලින් එතුමිය ජීවමාන සලකුණු විහිදන්නේ. මෙහි ප්රධාන ප්රතිමාව දර්ශන දේව මන්දීරය තුල ස්ථාපිත කරලා තියෙනවා. ඒ ප්රතිමාවෙන් විටින් විට පිච්ච මල් සුවඳ විහිදෙන්නෙත් ඒ උත්සාහයට එතුමිය දක්වලා තියෙන ආශිර්වාදයයි. ඒ ප්රතිමා බොහෝ විට මරිය තුමියගේ ජීවමාන ස්වරූපයට බොහෝ සෙයින් සමානව සාදන්නට ලොකු උත්සාහයක් දරල තියෙනවා.
ඉතින් ප්රේමවන්ත දරුවෙනි, ඔබේ විශ්වාසය, ඔබේ බලාපොරොත්තුව මරිය තුමිය කෙරෙහි රඳවලා මේ සිද්ධස්ථානේදී කොහොමහරි ඔබේ යහපත් අවශ්යතාවය මරිය තුමියගෙන් දිනාගන්ඩ. ඒ සඳහා සතිපතා උත්සාහ කරන්න. කොතනකදි හෝ මරිය තුමිය ඔබව ස්පර්ශ කරනවා නියතයි.
mediamin April 22nd, 2025
Posted In:
මේ ලෝකයට කාලයෙන් කාලයට පහළ වූ විවිධ අධ්යාත්මික ගුරුවරුන් පිළිබඳව අප බොහෝ දේ අසා ඇත. අතීතයේ මෙන්ම අනාගතයේත් එවන් වූ අධ්යාත්මීක ගුරුවරුන්ගේ පහළ වීම ඉතාමත්ම දුලබය. බොහෝවිට එවන් අධ්යාත්මික ගුරුවරුන් එදා පෙන්වා දුන් අධ්යාත්මික විමුක්ති මාර්ගයේ ගමන් මග අද වන විට විවිධ ආගමික රාමු වලට කොටු කර ගනිමින් බොහෝ පටු අරමුණු ඉටුකර ගැනීම සඳහා ඒ අධ්යාත්මික ගමන් මාර්ගය සමාජය වෙතින් ඈත් කරන්නට බොහෝ ආගමික ගුරුවරුන් කටයුතු කිරීම අද සමාජයේ දැකිය හැකි පැහැදිලි කරුණකි. මේ ලෝකයට පහළ වූ අධ්යාත්මීක ගුරුවරුන් අතුරින් සැබවින්ම අපොස්තුළු තුමෙකු සුවිශේෂී වේ. එසේ වන්නේ අපොස්තුළු තුමෙකු නම් වු අධ්යාත්මික ගුරුවරයෙකු මේ ලෝකයට පහළ වන්නේ ඉතාමත් ම කලාතුරකින් වීම නිසාවෙනි. එහෙත් අද සමාජය දිනෙන් දින ධර්මයෙන් ඈත් වෙමින් පවතින මෙවන් අවධියක ධර්මය සොයන ප්රඥා වන්තයන්ගේ වාසනාවකට අද ලෝකයට මහා දහම් ආලෝකයක් පතිත වී ඇති කාලවකවානුවක් උදා වී ඇත. ඒ නිසාම ඒ දහම් ආලෝකය තුළින් මරණය පරාජය කර විමුක්තියේ මාවත වෙත ගමන් කලයුතු නිවැරදි දහම් මාර්ගය තම තමා තුලින්ම දකින්නට බොහෝ දෙනෙකුට වාසනාව හිමි වී ඇත්තේ අපොස්තුළු තුමෙකු නම් වූ උතුම් ආධ්යාත්මික ගුරුවරයකු මේ ලෝකය වෙත පහළ වී ඇති නිසාවෙන්මයි. 1957 පෙබරවාරි 1වන දින හරියටම මැදියම් රෑ 12 ට ඉතාමත් අසිරිමත් උපතක් සමගින් මෙලොවට උපත ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමා නම් වූ මේ මහා අධ්යාත්මික ගුරුදේවයාණන් වහන්සේ සැබවින්ම මෙලොවට සපැමිණි ඉතාමත්ම සුවිශේෂී උත්තමයෙක් වන්නාහ. එමෙන්ම උන්වහන්සේගේ ඒ අසිරිමත් උපත සිදු වූ ආකාරය ලෝකයටම කියාපාන්නේ සැබවින්ම උන්වහන්සේ තුල පවතින ඒ පූජනීයත්වයයි. අදටත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවමානවම වැඩ වසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන් වන මේ මහා අධ්යාත්මික ගුරුවරයාණන් වහන්සේගේ මෙලොවට පහළවීමේ ප්රධානතම පරමාර්ථය වන්නේ සමාජයට යහමග පෙන්වා දෙමින් නිවැරදි ගුණධර්මවලින් මිනිස් සිත පෝෂණය කර මිනිස් සිත තුළ පවතින කෙලෙස් දුරුකිරීමට අවශ්ය වන ධර්ම ආලෝකය ලබාදෙමින් යමෙකු මරණින් මතු ලබාගත යුතු උත්තරීතර වූ අධ්යාත්මික පරිපූර්ණතාවය ලබා ගැනීම සඳහා මිනිස් සිත වෙතට මග පෙන්වා දීමයි. අද වෙන විට උන්වහන්සේ මේ සමාජයට සිදු කළ මහා දහම් මෙහෙවර තුළින් ඒ බව වඩාත් පැහැදිලි ලෙස දකින්නට හැකි වී ඇත්තාහ. ඒ නිසාම මේ මහා අධ්යාත්මික ගුරුදේවයාණන්ගේ මෙලොව ඉපදීම සැබැවින්ම සුවිශේෂී උපතක්මය.
උන්වහන්සේගේ පියා උපතින්ම බෞද්ධයෙකි. කටුනායක ප්රදේශයේ ධනවත් ව්යාපාරිකයෙකු වූ ජී. සී. අපොන්සු මහතාගේ සහ මාග්රට් අපොන්සු මැතිණියගේ පුතණුවන් ලෙස උපත ලද මේ මහා උත්තමයාණන් වහන්සේ තමන් කුඩා කල සිටම ගත කරනු ලැබුවේ සියළු සැප සම්පතින් පිරී ගිය ඉතාමත්ම සුඛෝපභෝගී ජීවිතයකි. එහෙත් උන්වහන්සේ කුඩා කළ සිට ගත කළ එම ඉතාමත් සුඛෝපභෝගී ජීවිතය අතහැර මහා දහම් ගුරුවරයෙකු ලෙස මිනිසාට අධ්යාත්මික විමුක්තිය සඳහා වූ දහම් මාර්ගය පෙන්වා දීමට කටයුතු කරනු ලැබීම අහඹුවක් නොව තමන් වහන්සේගේ අවසාන භවය ලෙස මේ ලෝකයට ඉපදී උන්වහන්සේ ඉටු කිරීමට අපේක්ෂා කළ කාර්යයි. එනම් 1957 පෙබරවාරි 1 වන දින මධ්යම රාත්රියේ අසිරිමත් උපතක් සමගින් මෙලොවට උපත ලද උන්වහන්සේ අපොස්තුළු තුමෙකු ලෙස දිව්යමය වශයෙන් මහා අධ්යාත්මික පරිපූර්ණ තාවයකට පත් වීම තුලින් මේ ලෝකය තුළ සිදුකල යුතු මහා දහම් මෙහෙවරයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මෑණියන් වන මාග්රට් අපොන්සු මැතිණිය වසර 90ක් ආයු වලඳා ස්වර්ගස්ථ වීමට පෙර එතුමිය විසින් තම සිතෙහි නිධන් කර ගනිමින් තිබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ කුඩා අවධිය පිළිබඳව හෙළි කළ මහා පුදුමාකාර සිද්ධීන් අතර, මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් එතුමියගේ කුසයේ පිළිසිඳ ගත් දා පටන් ම සිදු වූ අරුම පුදුම දේ මෙන්ම උන්වහන්සේ කුඩාකල ළදරු අවධියේ සිටම සිදුකළ මහා ගැඹුරු ප්රකාශ තුළින් ද උන්වහන්සේගේ මහා අධ්යාත්මික දියුණුව පිළිබඳව බොහෝ කරුණු, එදා උන්වහන්සේගේ දෙමව්පියන් වෙත දැනී තිබුන බව තේරුම් ගැනීමට හැකි වූවත්, ඒ අරුම පුදුම සිදුවීම් තුල මෙන්ම උන්වහන්සේ එදා ළදරු අවධියේ දී පවා ප්රකාශ කළ ඒ ගැඹුරු ප්රකාශවල අර්ථය වඩ වඩාත්ව අද මුළු ලෝකය වෙතම මනා ලෙස වටහා ගැනීමට හැකි වී ඇත්තේ උන්වහන්සේ මහා අධ්යාත්මික ගුරුවරයකු ලෙස මිනිස් සිත ධර්මයෙන් ආලෝක කරමින් මේ සමාජය වෙත සිදුකරන මහා දහම් පෙරළිය තුළින්ය. ඇතැම් අවස්ථාවන්හී උන්වහන්සේගේ බෞද්ධ පියා මේ ශුද්ධෝත්තම අපෝස්තුළු තුමන් ළදරු අවධියේ සිදු කරනු ලැබූ ඇතැම් අධ්යාත්මීක ගැඹුරු ප්රකාශයන් පිලිබඳව රැය පහන් වන තුරු සක්මන් කරමින් නිහක්ෂව කල්පනා කර ඇත්තේ උපතින්ම බෞද්ධයෙකු වූ ඔහුට තම පුතණුවන්ගේ මෙවැනි ප්රකාශයන්හි ගැඹුරු හරය තම බෞද්ධ දැනුම තුලින්ම වටහා ගැනීමට හැකි වූ නිසාවෙන් ම බව අපට පැහැදිළි වන කරුණකි. එහෙත් එදා උන් වහන්සේගේ ළදරු වියේදී පවා ප්රකාශ කල ඒ මහා අධ්යාත්මික ප්රකාශ වල හරය එදාටත් වඩා අද ලෝකය වෙත හෙළි වී හමාරය. මේ සෑම දෙයක් තුලින්ම පැහැදිළි ලෙස ප්රකාශ වන කරුණක් වන්නේ, මේ මහා දහම් ගුරුවරයාණන් වහන්සේ ගේ මෙලොව ඉපදීම අහඹුවක් නොවන බව නොවේද? තමන් වහන්සේට දෙමාපිය උරුමයෙන් හිමි වූ සියළුම ධනය තම දහම් මෙහෙවර වෙතම යොදවමින් කටයුතු සිදුකරන උන්වහන්සේ අදටත් ඉතාමත්ම ශුද්ධවත් ඇතුළාන්ත ජීවිතයක් ගතකරන සේක. එමෙන්ම උන්වහන්සේ තම ජීවිත ආදර්ශයෙන් මෙන්ම සෑම දහම් දෙසුමකින්ම කිසිදු ජාති ආගම් භේදයකින් තොරව සමාජය වෙත අවධාරණය කරන්නේ නිරතුරුවම යහපතෙහි හැසිරෙන ලෙසටයි. ඒ වගේම මරණය පරාජය කර විමුක්තියේ පරිපූර්ණතාවය සඳහා මග පෙන්වා දීමටයි.
සැබවින්ම මෙලොවට අධ්යාත්මික ගුරුවරයෙකුගේ පහළ වීම අහම්බයෙන් සිදු වන්නක් නොවේ. එමෙන්ම අධ්යාත්මික ගුරුවරයෙකු මෙලොවට පහළ වන්නේ මිනිසාගේ දැනුම පිණිස නොව අවබෝධය පිණිස දහම් මඟ පෙන්වා දීම සදහාමය. මන්ද යමෙකු තම අධ්යාත්මික පරිපූර්ණතාවය සඳහා මාර්ගය සොයා ගත යුත්තේ බාහිර ලෝකයෙන් නොව තමන් තුළින්මයි. සිතෙහි පවතින කෙලෙස් දුරු කර තම සිත අධ්යාත්මික පරිපූර්ණතාවය වෙත යන මාර්ගය තුළ ගමන් කරවිය යුත්තේ තමන් විසින්මයි. ඒ සඳහා සැබැවින්ම තමා තුළින් ම අවබෝධයෙන් වටහා ගත යුතු නිවැරදි දහම් මගපෙන්වීමක් අත්යාවශ්ය වේ. මේ සඳහා නිවැරදි. දහම් අවබෝධය යමෙකුගේ සිත තුළට දී තම ඇතුළාන්තය තුළින්ම අධ්යාත්මික විමුක්තිය සඳහා මාර්ගය සොයා ගැනීමට උදව් කළ හැක්කේ උතුම් ආධ්යාත්මික ගුරුවරයකුටම පමණයි. ඒ නිසාම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් වැනි මහා අධ්යාත්මික ගුරුවරයෙකු මෙලොව වැඩ වසන සමයක උන් වහන්සේ පෙන්වා දෙන මහා දහම් අවබෝධයෙන් තම සිත පෝෂණය කරගෙන අධ්යාත්මික විමුක්තිය වෙත ගමන් කිරීමට හැකිවන මාර්ගය තමන් තුළින්ම වටහා ගැනීමට අවස්ථාව ලැබීම ද අද බොහෝ දෙනෙකුට හිමිවී ඇති මහඟු වූ වටිනා අවස්ථාවක් වීම ඔවුන්ගේ ම පෙර පිනකට ලද වාසනාවක් විය යුතුය.
යමෙකුට මෙලොව සිදු කළ හැකි උතුම්ම ප්රාතිහාර්ය වන්නේ අන් කිසිවක් නොව අධර්ම මාර්ගය තුළ මුලාවී ඇති සිතකට නිවැරදි දහම් අවබෝධය ලබා දෙමින් ඒ සිත ධර්මයෙන් සුවපත් කර, තම මරණය පරාජය කර ලබාගත හැකි විමුක්තියේ මාවතේ ගමන් කිරිමට අවස්ථාව ලබා දිමයි. ලෝකයට පහළ වන අධ්යාත්මික ගුරුවරයකු සැබැවින්ම මේ ප්රාතිහාර්යය සිදුකිරීමට සමත්වන උතුම් දහම් ගුරුවරයෙකු වන්නාහ. ඒ නිසාම විශේෂයෙන්ම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දහම් දූත මෙහෙවර තුළ අවධානය යොමු කරන කළ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වසන මේ මහා දහම් ගුරුවරයාණන් වහන්සේ පුරා දශක පහකටත් වැඩි (අවුරුදු පනහකටත් වැඩි) තම දහම් දූත මෙවර තුළ, මිනිස් සිත යහපත් වූ ගුණ ධර්ම වලින් පෝෂණය කරවමින් ඔවුන්ව දහම් මාවත ඔස්සේ ගමන් කරවීමට කටයුතු කරවූයේ යමෙකුට මේ ලෝකය තුළ සිදු කළ හැකි උතුම්ම ප්රාතිහාර්ය වන මිනිස් සිත ධර්ම මාර්ගය තුළ ගමන් කරවීමේ ප්රාතිහාර්ය සිදුකරමින් වීම පැහැදිලිව වටහාගත හැකි කරුණකි. ඒ නිසාම අදටත් බොහෝ බෞද්ධ නාහිමිවරුන් වහන්සේලාගේ පවා ගෞරවාදරයට පත් වන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා යනු මේ ලෝකයට ම හිමිවූ මහා වටිනා දහම් සම්පතක්ය. නිසැකවම කිසිදු ජාති ආගම් භේදයකින් තොරව, සැමගේ ගෞරවාදරයට පාත්ර විය යුතු උත්තමයෙකි. එහෙත් යම් දිනයක උන්වහන්සේ මේ ලෝකයෙන් වියෝ වූ දිනයක උන් වහන්සේ පෙන්වා දුන් අධ්යාත්මීක විමුක්තියේ මාර්ගයේ ගමන් කරන්නට උන්වහන්සේගේ පා සලකුණු පමණක් මේ ලෝකයට ඉතිරි වනු ඇත. එදිනට මේ ලෝකයට අපොස්තුළු තුමෙකු නම් වු මහා අධ්යාත්මික ගුරුවරයාණන්ගේ අගය අදටත් වඩා වැඩි වැඩියෙන් එදිනට දැනෙනු ඇති බව නිසැකය.
රංග ප්රසාද් පෙරේරා
ජාඇල
mediamin April 22nd, 2025
Posted In:
‛‛යම් නිවසක සැමියා සහ බිරිඳ, එහෙමත් නැත්තම් අම්මා සහ තාත්තා අතර සුහද බව, යහපත් බව, ධර්මිෂ්ඨ බව අර්ථාන්විත වෙනකොට තමයි යහපත්, ගුණවත් සහ සමාජයට බරක් නැති දරුවන් නිර්මාණය වෙන්නෙ. එහෙම නැතුව අම්මා තාත්තා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් නැත්නම්, දරුවන්ට ආදර්ශමත් සම්බන්ධතාවයක් නැත්නම්, ඒ අයගේ ජීවිත වල සාරවත් ගුණාංග නැත්නම්, ඒ අයගේ දරුවන් කවුරු දිහා බලාගෙන ද හැදෙන්නෙ? එහෙම නේද? අම්මා තාත්තා දෙන්නා දිහා බලාගෙන හැදෙන්ඩ දෙයක් නැත්නම්, ඒ අයගෙ ජීවිත වලින් ගත හැකි ආදර්ශයක් නැත්නම්, දැකගන්ඩ ගුණවත්බවක් නැත්නම් ළමයින්ට මොකද වෙන්නෙ? ළමයි අතරමං වෙනවා. අද සමාජයෙන් යහපත් ගුණාංග දරුවන්ගෙ ජීවිත වලට එකතු වෙයි කියලා අපිට සැනසෙන්ඩ පුළුවන්ද? සෑහීමකට පත් වෙන්ඩ පුළුවන්ද? සමාජ මාධ්ය හරහා දරුවන් විනය ගරුක වෙයි කියලා දෑස් වසාගෙන ඉන්න පුළුවන්ද? අද පාසලෙන්වත් දරුවන් හැදෙයි කියලා විශ්වාසයක් තියාගන්ඩ පුළුවන්ද? ඒ ටික කරගන්න පුළුවන් වෙන්නෙ ආදර්ශමත් ගුණාංග සහිත අම්මෙක් තාත්තෙක් ඉන්න ගෙදරකින් පමණයි. අම්මා තාත්තා තමයි දරුවන්ට ඉන්න ශ්රේෂ්ඨතම ගුරුවරුන් දෙදෙනා. එවැනි ගෙදරකින් දරුවන්ට ලැබෙන අධ්යාපනය මුළු සමාජයම සුවඳවත් කරනවා. ඉතින් වෙනේරියස් සහ සෙල්වින් ප්රිය දරුවෙනි වසර 30 ක් පුරාවටම ඔයගොල්ලන්ගෙ විවාහ ජීවිතේ තිබුන ඒ යහපත් ගුණවත් බව මෙවැනි සාරවත් දරුවන් තුන්දෙනෙක් මේ ලෝකයට ලබා දෙන්නට හේතු වුනා. අවුරුදු 30 කට පෙර ඔබ දෙදෙනාගේ විවාහ බන්ධනය ආශිර්වාද කලේ මා විසිනුයි. එදා ඔයගොල්ලො දෙන්නා අතිනත් ගන්වලා ආශිර්වාද කරලා මා දුන්න ප්රධානතම අවවාදය මතකද? දෙදෙනාම ගුණවත් දෙදෙනෙක් වෙන්නට කියල මම කිව්වා. එක්කෙනෙක් ගුණවත් වෙලා මදි, දෙදෙනාම ධර්මිෂ්ඨ වෙන්නට කිව්වා. එක්කෙනෙක් ධර්මිෂ්ඨ වෙලා අනික් කෙනා අධර්මිෂ්ඨ වුනොත්, එතන යහපත් පැවැත්මක් ඇති වෙන්නෙ නැහැ. අවුරුදු 30 කට කලින් ඔබ දෙපලටම මම කිව්වා, එක්කෙනෙක් සාන්තුවරයෙක් වෙලා අනික් එක්කෙනා යක්ෂණියක් වුනොත්, නැත්නම් එක්කෙනෙක් සාන්තුවරියක් වෙලා අනික් එක්කෙනා යක්ෂයෙක් වුනොත් ඒ විවාහ ජීවිතයට ඉදිරි ගමනක් නැහැ කියලා එදා මම කිව්වා. ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතයේ විවාහ ආශිර්වාද ගන්වමින් මා කල දේශනයට, ඊට පස්සෙ විටින් විට ඔබ දෙපලගේ විවාහ ජීවිතයේ සංවත්සරයන් සැමරුවා. අවුරුදු 20, 26, දැන් 30 මේ සියලු දේශනා පටිගත වෙලා තියෙනවා. මේ දේශනයත් පටිගත වෙනවා. ගිය සතියෙ ඒ දේශන කිහිපයටම මම සවන් දුන්නා, මම ඔයගොල්ලන්ට දීලා තියෙන අවවාද මොනවද කියලා. ඉතින් ඒවා මම අහපුවම මට තේරුනා එදා මං මුල් දේශනයේ දී කිව්ව විදිහට ඔබ දෙපල සාන්තුවරයකුයි සාන්තුවරියකුයි එකතු වුනා වගෙයි කියලා. එක්කෙනෙක්වත් යක්ෂයෙක්වත්, යක්ෂණියක්වත් වුනේ නැති නිසා තමයි අද අවුරුදු 30 ක් සමරන්නට මේ විදිහට ඔයගොල්ලන්ට එන්නට පුළුවන් වෙලා තිබෙන්නෙ.’’
2024 ජූනි මස 29 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත වදන් ප්රකාශකරනු ලැබුවේ, මීගමුවේ පදිංචි වෙනීරියස් ප්රනාන්දු සහ සෙල්වින් ප්රනාන්දු යුවලගේ විවාහ ජීවිතයේ තිස් වෙනි සංවත්සරය වෙනුවෙන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ දී පවත්වනු ලැබූ දිව්ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තව දුරටත් සිය දේශණයේ දී මෙසේද ප්රකාශ කල සේක.
‛‛ඔබ දෙදෙනා වසර ගණනාවක් විවාහ සංවත්සරය මාත් සමග මෙලෙසම පවත්වලා අද 30 වෙනි සංවත්සරය මෙලෙස පවත්වන්නට හැකි වූයේ ඔබලා දෙදෙනා ඒ සියලු අවවාදයන් පිලිපැදලා විවාහ ජීවිතය ආලෝකමත් කර ගත් නිසයි. ඉතින් වෙනේරියස් සහ සෙල්වින් ප්රිය දරුවෙනි ඔබ දෙදෙනා අතර තිබු ඒ හික්මීම නිසා ඔබ දෙපලගෙන් මේ ලෝකයට ලැබුන දරුවන්ගේ ජීවිතත් ආලෝකමත් වෙලා තිබෙනවා. මොකද ඔබ දෙදෙනා දිහා බලලා හැදෙන්ඩ බොහෝ දේවල් දරුවන්ට තිබුනා. එහෙම නේද? ඔබ දෙදෙනා දිහා බලලා හැදෙන්ඩ දේවල් දරුවන්ට තිබුනා. අම්මා තාත්තා කියන්නෙ ගෙදරක ඉරයි හඳයි වගෙ. ප්රධාන ආදර්ශ දෙක අම්මයි තාත්තයි. නමුත් අම්මයි තාත්තයි නයයි පොළඟයි වගේනම්, මහා විස දෙකක් වගේනම්, මේ විස දෙක එකතු වෙලා හැදෙන උග්ර විස කොහොම වෙයිද? මොකද එකිනෙකාගෙ ජීවිතයන්ට ගරු නොකරන දෙන්නෙක් ගෙදර අධිපතිකම දරද්දි දරුවන්ගෙ ජීවිත වලට මොකක් වෙයිද? වෙනේරියස් සහ සෙල්වින් ප්රිය දරුවෙනි, ඔබ දෙදෙනාගේ විවාහයට දැන් අවුරුදු 30ක් සම්පූර්ණව ඇතත් අවුරුදු 30 කට කලින් සිටම මම ඔයගොල්ලන්ව හඳුනනවා. ඔයගොල්ලො දෙදෙනාම මේ සිද්ධස්ථානය සමග සම්බන්ධ වෙලා හිටියා. සෑම දේව මෙහෙයකටම සහභාගි වුනා විතරක් නෙමෙයි, සිද්ධස්ථානයේ බාහිර කටයුතු සමගද සම්බන්ධව සිටියා. මේ වෙනකොට ඔබේ අනර්ඝ වස්තූන් වන ඔබ දෙපලගේ දරුවන්ද ඒ කටයුතු සඳහා නොමසුරුව සම්බන්ධ කරල තිබෙනවා. ඔයගොල්ලන්ගේ එකම පුතාව පවා සම්පූර්ණෙන්ම දේව සේවයට සම්බන්ධ කිරීමට තරම් නොමසුරුබවක් ඒ කියන්නෙ කිසිදු මසුරුකමක් නැති බවක් ඔයගොල්ලො දෙදෙනාටම තිබුනා. ඔයගොල්ලො දෙදෙනාම මසුරු වුනානම් ඒක කරන්න බැරුව යනවා. එක්කෙනෙක් මසුරු වෙලා අනික් එක්කෙනා පරිත්යාගිශීලි වූවානම් ඒත් ඒ ටික කරන්නට බැරුව යනවා. ඇතැම් අයගේ ජීවිත පැවතුම් දිහා බලද්දී අද සමාජයේ ජීවත් වන වැඩි දෙනෙක් හරිම මසුරුයි. තමන්ට අයිති දේවල් පොඩ්ඩක්වත් අනික් අයට දෙන්නට විතරක් නොවෙයි, තමන්ගෙ දේවල් චුට්ටක්වත් වෙනත් කෙනෙක් පරිහරණය කරනවා දකින්නවත් අකැමතියි. නමුත් ඔයගොල්ලො දෙදෙනාම තුල ඒ මසුරුකම දකින්නට තිබුනේම නැහැ. අපේ සිද්ධස්ථානයේ විවිධ අවශ්යතා සඳහා ඔබලා දෙදෙනාම කිසිම මසුරුකමක් නැතිව උපකාර කරපු ආකාරය හොඳටම දන්නේ උඩ ඉන්න දෙවියොත් මේ බිම ඉන්න මමත් විතරයි කියල කිව්වොත් ඒක නිවැරදි බව ඔයගොල්ලො පිලිගන්නවා ස්ථීරයි. ඒ බව ඔබේ දරුවන්ටත් දායාද වෙලා තියෙනවා. ඔයගොල්ලො දෙදෙනාගේ ඒ යහපත් ගුණාංගය, ඒ යහපත් ආදර්ශය දරුවන්ට පෙනිලා තියෙනවා, දරුවන්ට දැනිලා තියෙනවා. වෙනේරියස් සහ සෙල්වින් ප්රිය දරුවෙනි, ඔබ දෙදෙනා සතු ඒ නොමසුරුබව හෙවත් පිනක් කරගන්නට ලැබෙන අවස්ථාවේදි මසුරු නොවී සිටීමේ ගුණාංගය අද සමාජයේ බොහොම දෙනෙකුට නැති දෙයක්. සමහරුන්ටනම් ඇත්තේම නෑ.’’
වෙනේරියස් ප්රනාන්දු මහතා සහ සෙල්වින් ප්රනාන්දු මහත්මිය වසර තිහකට පෙර විවාහ ජීවිතයට ඇතුළු වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්රධානත්වයෙන් සිදු කරනු ලැබූ විවාහ මංගල දිව්ය පූජාවේ දී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමිනුයි. වසර තිහක් ගතවන අවස්ථාවේ, පැරණි දර්ශණ දෙව්මැඳුර පැවති ස්ථානයේ ම ඉදිකර ඇති නව දර්ශණ දෙව් මැඳුර තුල දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෝතින් පුදනු ලැබූ තිස්වන විවාහ සංවත්සර දිව්ය පූජා මෙහෙයට, මෙම යුවල සහභාගි වූයේ සිය දරු තිදෙනා ද සමගිනුයි.
ඔවුන් සියළු දෙනා ද, මෙම දිව්ය පූජා මෙහෙයට සහභාගි වූ විවිධ ප්රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවත් ජනතාව ද අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද පැවසූ සේක.
‛‛මේ වගේ දේශනාවක් අහගෙන ඉන්නකොට තමන් දිහායි බලන්නට ඕනා. දහම් දෙසුමක් කියන්නෙ, අපොස්තුළුතුමෙක්ගේ අනුශාසනාවක් කියන්නෙ, ඔබට ඔබ දෙසම බලාගන්නට අතට දෙන කණ්නාඩියක්. ඉතින් මේ කණ්නාඩිය එක එක්කෙනාට අල්ලන්නට එපා. අරගොල්ලො ගැන තමයි කිව්වෙ, ඒගොල්ලො ගැන කිව්ව ටිකනම් හරියටම කිව්වා, අරගොල්ලන්ටම තමයි දේශනාව ගැලපෙන්නෙ. එහෙම හිතන්න එපා. අනික් අයගෙ ඒවා වැඩක් නැහැ මෙතෙන්ට. බලන්ඩ තමන් දිහා. මේ කියන්නෙ, මේ ප්රශ්ණෙ, මේ කියන්නෙ අපේ ප්රශ්ණෙ. අපි දෙන්නම මේ ගති සහිතද, අපි දෙන්නම තද මසුරොද, තමන් ගැන කල්පනා කරන්න. වෙනීරියස් සහ සෙල්වින් යුවලට නෙමෙයි ඒ ටික කිව්වෙ, මේ රැස්වී සිටින සියලු දෙනාටම. ඔබ සියලු දෙනාටමත් එක්කයි මේ දේශනය පවත්වන්නේ. වෙනීරියස් සහ සෙල්වින් විවාහ ජීවිතයේ වසර තිහක් සමරණ මේ මොහොතේ මේ වගේ දේවල් ඇහෙනකොට, ඔයගොල්ලෝ දෙදෙනාගේ විවාහ බන්ධනය ආශිර්වාද කල මා විසින් ම අවුරුදු තිහකට පස්සෙ, ඔයගොල්ලෝ දෙදෙනාගේ ජීවිත දෙස අවුරුදු තිහක් බලාගෙන සිටපු මා විසින් ම මේ වගේ දේවල් කියත් දී, මේ වගේ මසුරුකම් ඔයගොල්ලන්ට නැත කියලා දැනෙනකොට කොච්චර සතුටක් දැනෙනවද නේද? අපි මෙහෙම අය නෙමෙයි, අපි දෙන්නා මසුරො නෙමෙයි කියලා කොච්චර සතුටක් දැනෙනවද? අපොස්තුළුතුමා කියන මේ මසුරු දුර්ගුණ අපි ලඟ නෑනෙ, අපි කොච්චර වාසනාවන්ත ද, අපි මෙහෙම අය නෙමෙයි නෙ, අපි මසුරො නෙමෙයි නෙ, කොච්චර සතුටක් දැනෙනවද? මා දෙසූ ධර්මය අසා ඒවා පිළිපැදීමේ ප්රයෝජනය අන්න ඒකයි. ඒ නිසාම විවාහයෙන් දශක තුනකට පස්සෙ, කෙටි කාලයක් නෙමෙයි, අවුරුදු තිහකට පස්සෙ, ඔබලා දෙදෙනාටම අද සතුටු වෙන්න පුළුවන්, ‛අපි කොච්චර කොලිටි ද කියලා’.
සිය විවාහ දිවියේ තිස් වෙනි සංවත්සරය සමරමින්, දිව්ය පූජා මෙහෙයේ දී වෙනේරියස් ප්රනාන්දු මහතා සහ සෙල්වින් ප්රනාන්දු මහත්මිය විසින් රන් ආලේපිත වටිනා පූජා පාත්රයක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට පූජා කරනු ලැබූ අතර එදින විවාහ සංවත්සර දිව්ය පූජාවේ දී උන්වහන්සේ පාවිච්චි කරනු ලැබුවේ එම පූජා පාත්රයයි.
විවාහ වූ යුවලකට පමණක් නොවෙයි, විවාහ වීමට සිටින අයට පවා ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇතුලත්ව සිය දේශණය කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබුවා.
‛‛අද සමාජය දිහා බලත් දී මේ ටිකත් කියන්නට ඕනා. යම් ගෙදරක අම්මා අසංවර නම්, ඒ ගෙදරට ඒක මහා සාපයක්. ඒක හරිම නරක තත්වයක්. ඒක නම් වලක්වා ගන්නටම ඕනා. දුවෙකුට වුනත්, තමන්ගෙ සීමා ලකුණු කරගන්නට උදව් කරන්නට ඕනා කවුද? අම්මා. අම්මා නැත්නම් දුවෙකුට කවුද යහපත් පැවැත්ම ගැන කියල දෙන්නෙ. මම මෙහෙම ඉඳලා, මේ වගේ වැඩ කරලා, මේ වගේ හැසිරිලා, මේ වගේ ගමන් ගිහිල්ලා අම්මගෙ මුහුණ බලන්නෙ කොහොමද? අම්මට මුහුණ දෙන්නෙ කොහොමද? අම්මගෙ මුහුණෙ දැලි ගාන්නට බැහැ. දුවෙකුට මෙහෙමයි හිතෙන්නට ඕනා. ඉතින් දුවෙකුට එහෙම හිතෙන්නටනම්, අම්මා ශීලාචාර, ගුණවත්, විනීත, ආදර්ශමත්, ධර්මය ඉදිරියේ ඇත්තටම හීලෑ වුන අම්මා කෙනෙක් වෙන්නට ඕනා. ධර්මය ඉදිරියේ ඇත්තටම හීලෑ වුන අම්මා කෙනෙක් වෙන්නට ඕනා. දුවෙකුට වැදගත්ම දේ අම්මාට මුහුණ දීම. අම්මාගේ සංවරකම ඉදිරියේ තමයි දුවෙක් වුනත් පුතෙක් වුනත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ. යම් ගෙදරක අම්මා දුෂ්ශීලයි කියන්නෙ, කෙටියෙන් කියනවනම් යම් ගෙදරක අම්මා ‛වනචරයි’ කියන්නෙ, ‛සල්ලාලයි’ කියල කියන්නෙ, ප්රිය දරුවෙනි, ඒක මහා විනාශයක්. ඒ ගෙදර දරුවන්ට විතරක් නෙවෙයි, මුළු සමාජයට ම විනාශයක්. කිසිම අම්මෙක් කවදාක්වත් ඒ තත්වයට වැටෙන්නට එපා. අද විවාහ ජීවිතයේ තිස්වසර සමරණ සෙල්වින් අම්මා කෙනෙක් වශයෙන් දියණියන් දෙදෙනාටත්, එකම පුතාටත් ඔබ මහා ආදර්ශයක්. ධර්මය අසා ඇත්තටම හීලෑවුන කාන්තාවක්. එවැනි බිරිඳක් සමග වසර තිහක් ගතකල වෙනේරියස්ටත්, තාත්තා කෙනෙක් වශයෙන් කොච්චර සතුටක් ද? මගේ බිරිඳ ගැන සමාජය වැරැද්දක් කියන්නෙ නෑ, මගේ බිරිඳ ගැන සමාජය ඇනුම්පද කියන්නෙ නෑ, එහෙම කියලා ස්වාමි පුරුෂයෙක් හැටියට තමන්ගේ බිරිඳ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඇයි දරුවන්ට? දරුවන්ටත් තමන්ගෙ අම්මා ගැන ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන්. සමාජයේ කවුරුවත් දරුවන්ට කියන්නෙ නෑ, ‛මේ ඔයගොල්ලන්ගෙ අම්මා……. අපි දන්නවා එයාගෙ හැටි’ එහෙම කියන්නෙ නැහැ. ආදර්ශමත් අම්මා කෙනෙක්. අම්මයි තාත්තයි දෙන්නාම ආදර්ශවත් දෙමාපියන් ලෙසටයි, අද දින දරුවන් තුන්දෙනාවම ලඟින් තියාගෙන, අවුරුදු තිහකට කලින් විවාහ බන්ධනය ආශිර්වාද කල මාවත් ඉදිරියේ තබාගෙන ජීවිතයේ දුර්ලභ අවස්ථාවක් සමරන්නෙ. නමුත් අද සමාජයේ සියළුම කාන්තාවන්ටයි මම මේ කථා කරන්නෙ දැන්. අද සමාජයේ සියලුම කාන්තාවන් පරෙස්සම් වෙන්න. ඔය එක එකා යූටියුබ්වල ෆේස්බුක්වල දාන කතා පිංතූර දැක්කහම හිතෙනවා, මුං මේ වගේ දේවල් දාලා ගෙදර ගිහිල්ලා තමන්ගෙ දුවගෙ මුහුණ බලන්නෙ කොහොමද කියල. මෙවැනි අය බලන්නෙ අනික් අයගෙ පවුල් ජීවිතත් අවුල් කරන්න. ඇයි තමන්ගෙ මුළු පවුල් ජීවිතයම ගිනි අරගෙන. එවැනි මෝඩ, මනස අවුල් වුන අයගෙ මෝඩ කතා, පිස්සු කතා අහලා, පුංචි රෙදි කෑල්ලකින් මසා ගත්ත ඇඳුම් මෝස්තර දැකලා, අපේ අම්මලා, අපේ කාන්තාවන් කවදාකවත් ඒවා ආදර්ශයට ගන්නට එපා. මොකද සියල්ල අවුල් කරලා, අනික් අයගෙ ජීවිත විනාශ කරලා, මොන දේ සිද්ධ වුනත්, උන්දලාට නම් ගණිකා වෘත්තියෙ හරි යෙදිල සල්ලි හොයාගන්න පුළුවන්. මොකද උන්දලා කොහොමත් කතා හදාගෙන ඉවරයි දැන්. සාමාන්ය ගැහැණියකට මොකද වෙන්නෙ. අවුල් කරගන්න එක නෙමේ අවුල, ඒ අවුල ඇතුලෙ එතනින් එහාට ජීවත්වෙන්නෙ කොහොමද? එතෙන්ට වැටෙන්නට එපා, දේව මෑණියන්ගෙ නාමයෙන් කියන්නෙ, එතෙන්ටනම් වැටෙන්න එපා.’’
1985 දෙසැම්බර් 21 වෙනිදා නිර්මල කන්ය මරිය මාතාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල දී 22 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී එතුමිය ප්රකාශ කරනු ලැබූ වදන් ද සිහිපත් කර දෙමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙසින් ද පවසනු ලැබුවා.
‛‛නිර්මල කන්ය මරිය මාතාවෝ 1985 දෙසැම්බර් 21 වෙනි දා, 22 වන වරට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ඒ කියන්නෙ මේ සිද්ධස්ථානයේ දී, මම දැන් ඔබට කතා කරන තැනම, මෙතැනම, විශාල ජන පිරිසක් මැද, ජීවමානවම පෙනී සිටිමින්, කිව්ව දේ මතකද? එතුමිය මෙහෙම කිව්වා, ‛‛නූතන ස්ත්රීන් අශෝභන ලෙස පළඳින ඇඳුම් ගැන ස්වාමින් වහන්සේ කම්පා වී සිටියි. පිරිසිදුකමද, ශීලාචාරකමද විනාශ කරවන අන්දමින් ඔවුන් දිනෙන් දිනම තම විලාසිතා නවීකරණය කර ගනියි. අශෝභන විලාසිතා තුලින් ඔවුන්ද සාතන්ට ලෝකය තුල ඉඩ සලසා දෙයි. නොහොබිනා ඇඳුම් මගින්, නොහොබිනා පිළිවෙලට තම ශරීර ප්රදර්ශණය කිරීමට ස්ත්රීන් දක්වන උනන්දුව අප්පිරියාවකි.’’ කොහොමද මරිය තුමියගෙ කතාව. ඉතින් දැන් ඔබට කාවද මතක් වෙන්නෙ? නෑ නෑ කාටවත් ඇඟිල්ල දික්කරන්නට එපා. අම්මලා දූලා හොඳට කල්පනා කරන්න, එක එක්කෙනා කල්පනා කරන්න. අම්මා කල්පනා කරන්න ‛මම එහෙමද, මගේ දුව එහෙමද’ කියලා. දුව කල්පනා කරන්න ‛මම එහෙමද, අපේ අම්මා එහෙමද’ කියලා. දෙගොල්ලොම කල්පනා කරල බලන්න, ‛ඇත්තටම සාතන්ට මේ ලෝකය තුල ඉඩ සලසලාද, දේව මෑණියන්ට අපිව අප්පිරියා වෙලාද’ කියල. ඉතින් දෙවියන්ටත් අප්පිරියා වෙච්ච අයගෙ කුහක කතා කියවලා, ඒ වගේම තවත් අය මහ ලොකුවට උඩ පැනලා වර්ණනා කරනවා දැක්කට මතක තියාගන්න ඔය ඔක්කොම මානසික රෝගීන්, ඔළුව රාගයෙන් පිස්සු වැටිලා. අම්මලා දූලා පරෙස්සම් වෙන්න. දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා. දේව මෑණියන්වනම් ජීවිතයෙන් නැතිකර ගන්නට එපා.’’
mediamin April 22nd, 2025
Posted In:
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ශුද්ධවූ දේශයේ දී දුටුව ප්රතිමාවක් පිළිබඳව මනරම් විස්තරයක්
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ශුද්ධවූ දේශයේ දී දැක ගන්නට ලැබුණ ප්රතිමාවක් පිළිබඳව විස්තර කරමින් 2014 සැප්තැම්බර් 4 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධෝත්තම පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, සැදැහැවතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවත්වනු ලැබූ දේශණය
දැනට වසර කීපයකට පෙර මම ශුද්ධවූ දේශයේ අපොස්තලික වන්දනා චාරිකාවක නියැළුනු අවස්ථාවේ, එහිදී මා මුහුණ දුන් අත්දැකීමක් අද සවස ඔබ සමඟ බෙදා ගන්නට මා අදහස් කරනවා. අප දයාබර මෑණියන්ද අප ස්වාමින්වන ජේසුස් ක්රිස්තුස් වහන්සේ ද මෙලොව ජීවත්වන කාලයේ උන්වහන්සේලා දිවි ගෙවූ, උන්වහන්සේලාගේ ජිවිතවල විවිධ අවස්ථාවන්වලට මේ පොලෝතලය මතදී මුහුණ දුන් එම ස්ථාන දැක ගැනීමට ලද ඒ අවස්ථාව මා ලද විශාල භාග්යයක් ලෙසටයි අදත් මා සලකන්නෙ. සෑම අපොස්තුළු තුමෙකුගේම පාද ස්පර්ශය ලැබූ, එපමණක්ද නොවෙයි ජේසු තුමන් සහ දෙව් මවුන් ද ජීවමානව මේ ලෝකයේ වැඩ වසන කාලයේ උන්වහන්සේලාගේ ද පාද ස්පර්ශය ලැබූ ඒ ශුද්ධවූ දේශයේ කල වන්දනා චාරිකාවේදී, දවසක් එක් තරුණ පුජාප්රසාදි තුමෙක් මට ආරාධනා කෙරුවා, මට පහසු දිනයක ඔහුගේ ස්ථානයට එන්නට කියලා, රාත්රී භෝජන සංග්රහයකට. ඒ ආරාධනය මම පිළිගත්තා. ඉතින් ශුද්ධවූ දේශයේ, ඒ පුජාප්රසාදි තුමා ජීවත් වන, එතුමා පදිංචි ස්ථානයට ඒ කතාකරගත් වෙලාවට මම ගියා.
ඒ පුජාප්රසාදි තුමා ඉතාමත් ගෞරවයෙන් යුක්තව, ඉතාමත් ආදරයෙන්, මා ඔහුගේ ස්ථානයට පිළිගත්තා, ඔහු කිව්ව වචන මට අදටත් මතකයි, ඔහුගේ දෑතින්ම මගේ දෑත් අල්ලාගෙන මෙහෙම කිව්වා. ‛‛ජේසු තුමන්ගේද මරිය තුමිගේද සියළුම අපොස්තුළු තුමන්ලාගේද පාද ස්පර්ෂය ලැබූ මේ දේශයේදී නැවතත් ජීවමාන අපොස්තුළු තුමෙකුව පිළිගන්නට මාගේ ජිවිතයේදී මට හැකියාව ලැබීම ගැන අද මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා’’ එහෙම කියලා ඔහු මාව කැඳවාගෙන ගියා අමුත්තන් පිළිගන්නා ශාලාවට. අපි දෙදෙනා ටික වේලාවක් එහි කතාබස් කරමින් සිටියා. ඒ ශාලාවේ එක් කොනක තිබුණ ප්රතිමාවක් වෙත නිතර නිතර මගේ ඇස් දිවගියා. ඒ පූජාප්රසාදි තුමා සමග කතා කරමින් සිටින අතරේ, මා විටින් විට බැලුවේ අර ප්රතිමාව දෙසයි. ඒ පූජාප්රසාදි තුමාට පවා ටික වේලාවක් යත්දී තේරුම්ගියා, මගේ වැඩි අවධානයක්, ඒ ප්රතිමාව වෙත යොමු වෙනවා කියලා, මොකද දෙවරක්ම එතුමාද ඒ ප්රතිමාව දිහා හැරී බැලුවා. ඒ ප්රතිමාව ඔහුට අමුත්තක් නොවෙයි. නමුත් ඒ ප්රතිමාවෙන් යම් අමුත්තක් මම දුටුවා, මොකක්ද මේ ප්රතිමාව කියලා කුතුහලයක් මට ඇති වුනා. ඒ ප්රතිමාවෙන් දැක්වුනේ මරිය තුමී පුංචි දැරියක්ව ලංකරගෙන ඇයට මොනවදෝ කියාදෙන ආකාරයයි. ඒ ප්රතිමාවෙන් පිළිඹිබු වුනේ ඒකයි. මරිය තුමී පුංචි දරුවෙක්ව, ඒ කියන්නෙ ජේසු බිළිඳාව තුරුළු කරගත්ත ප්රතිමා මම ඕන තරම් දැකලා තියෙනවා. වර්ෂ 1977 ජූලි 27 වෙනි දා නිර්මල කන්ය මරිය තුමිය, මෙම සිද්ධස්ථානයේ දී මා ඉදිරියේ දර්ශණය වුනෙත්, එතුමියගේ වම් අතින් ජේසු බිළිඳුන් වඩවා ගෙනයි. නමුත් ශුද්ධ වූ දේශයේ දී දැකපු දේව මෑණියන්ගෙ අර ප්රතිමාවෙ, පුංචි දැරියක් තුරුළු කරගෙන, ඒ පුංචි දැරියට මොනවදෝ පවසන අයුරු දැක්වෙන ප්රතිමාවක් දැක්කහම මම ටිකක් පුදුම වුනා. ටික වෙලාවකින් අර පූජාප්රසාදි තුමා මගෙන් ඇහැව්වා, ‛‛ඔබ වහන්සේ ඇයි අර ප්රතිමාව දිහා නිකන් කුතුහලයෙන් වගේ නිතර නිතර බලන්නේ’’ කියලා. මං ඒ පූජාප්රසාදි තුමාට කිව්වා, ‛‛මේ ප්රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?’’ එතකොට ඒ පුජාප්රසාදි තුමා හිනාවෙලා මට පිළිතුරු දුන්නා, ‛‛ආ ඒක එතරම් ගණන් ගන්න දෙයක් නොවෙයි, ඒ ඉන්නේ ආනා මුනිශ්වරි, ආනා මුනි තුමියයි. ඒ තුරුළු කරන් ඉන්නේ එතුමියගේ කුඩා දියණිය මරිය තුමියවයි.’’ ඉතින් ඒ කතාව එතනින් ඉවරයි.
එදා රාත්රී භෝජන සංග්රහයට සහභාගි වෙලා, මම නවාතැන් ගෙන හිටපු හෝටලයට ආපසු ඇවිදින් මගේ කාමරයේ මම නිදාගෙන ඉන්නකොට මට මතක් වුනේ සවස සිදුවෙච්ච අර සිද්ධියයි, අර දැකපු ප්රතිමාවයි. මට ඒක එක්තරා විදිහක අත්දැකීමක් උනා. ඒ මන්දයත් මම මරිය තුමීව දෑසින් දුටු පුද්ගලයෙක්. ජේසු බිළිඳුන් සමගම පවා මම එතුමියව දැක ගත්තා. ඒ බව දැක්වෙන ප්රතිමාව තමයි, අපේ අර පෙනෙන දර්ශණ දෙව්මැඳුරෙ ප්රධාන ප්රතිමාව. පසුගිය අගෝස්තු 17 වෙනි සෙනසුරාදා ඒ ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරුණා. පළමුවෙනි වරට නොවෙයි, සයවෙනි වරට. ප්රතිහාර්යය සිදුවෙලා තවම මාසයක්වත් නැහැ. ඔයගොල්ලො ඒ අවස්ථාව දැක්කා ප්රතිමාව ලඟට ම ඇවිල්ලා සිත්සේ සුවඳ විඳ ගත්තා.
ඉතින් අර කිවූ ප්රතිමාව දුටු දා රාත්රියේ මම කල්පනා කලේ, මරිය තුමියගේ ජීවිතය සම්බන්ධව, මරිය තුමී තම මෑණියන්ගෙන්, එනම් ආනා තුමියගෙන්ම ඇයගේ පුංචි කාලය ගැන, ඇයගේ උපත ගැන දැනගත්ත කරුණු මා එක්ක කියලා තියනවා, ඉතින් මට හිතුනා ආනා තුමිය, ඒ කියන්නේ මරිය තුමියගේ මව, ආ මේ ආකාරයට වෙන්ඩ ඇති ඇයව ලඟින් තියාගෙන, ඇයව තුරුළු කරගෙන අර පුංචි කාලෙ වෙච්ච රසවත් සිදුවීම් කියලා දෙන්ඩ ඇත්තෙ. අපි වුනත් අම්මලා දන්නවා නේද දරුවො පුංචි කාලෙ, බහ තෝරන කාලෙදි ඒ දරුවන්ව කිට්ටු කරගෙන. ‛‛ආ පුතා පුංචි කාලෙ මෙහෙම දෙයක් උනා නැත්තම් දුව පුංචි කාලෙ මෙන්න මෙහෙම දෙයක් උනා, ඔයා පුංචි කාලෙ හුඟාක් දඟයි, නිතරම මගෙ ගවුමෙ මගෙ හැට්ටෙ පුංචි හිලක් හදාගෙන ඕක පහුරුගානවා, ඕක ලොකු කරනවා,’’ ඉතින් ඔය වගේ කතා කියනවා. ඔයගොල්ලන්ගෙ වුනත් අත්දැකීම ඕකයි. ඉතින් මරිය තුමීගේ උනත් අත්දැකීම එයයි. අර ප්රතිමාවෙන් පෙන්නුම් කෙරුවෙ, අර ප්රතිමාවෙන් කියා පෑවෙ ආනා තුමිය තම දියණියට ඇගේ පුංචි කාලය ගැන වටහල දුන්නු, කියලා දුන්නු ආකාරය නේද කියලා මම හිතුවා. මරිය තුමියගේ කුඩා කාලය පිළිබඳව, මම ඇයගෙන්ම කරුණු දැනගෙන තිබුණු නිසා, අර ප්රතිමාව එක්තරා අන්දමකින් මට නැවතත් මරිය තුමියගේ වදන් සිහිකරවන්නක් වුනා.
මරිය තුමීගේ මවු පියන් වුනේ ජෝකීනු සහ ආනා තුමියයි. අද ඒ අය වෙනුවෙන් ලොකු දෙව්මැඳුරු කොච්චර ඉදිකරලා තිබුනත් ඒ අය ක්රිස්තියාණිය ලබපු පුද්ගලයොවත් නොවෙයි. කවුරුවත් ඒ ගොල්ලන්ගෙ හිසට වතුර වත්කලේ නැහැ. ජේසුස් ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ප්රසිද්ධ ජීවිත සමය ආරම්භ කරන්ඩත් කලින් ඒ දෙන්නා මිය ඇදුනේ. ජුසේ තුමා පවා ක්රිස්තියානි වෙච්ච කෙනෙක් නොවෙයි. ජේසුස් ස්වාමින් වහන්සේ බොහෝම ගැටවර කාලයේදී තමයි ජුසේ තුමා මෙලොවින් සමු ගත්තෙ.
ඉතින් මේ ආනා සහ ජෝකීනු දෙපළට දරුවො හිටියෙ නැහැ. විවාහයෙන් පස්සෙ ලොකු කාලයක් ඒ ගොල්ලෝ දුක් වින්දා ඒ ගැන. එහෙම ඉද්දී තමයි දේව සැලැස්මක් ක්රියාත්මක වෙලා, ආනා සහ ජෝකීනු දෙපළට පුංචි දුවක් ලැබුනෙ. ඒ දුවණිය තමයි, අද අපේ ආදරයට පාත්රව සිටින මරිය තුමිය.
ඉතින් මරිය තුමී ආනා තුමියගේ කුසයේ පිළිසිඳගෙන, ඒ කියන්නෙ මරිය තුමී ආනා තුමියගේ කුසයේ ගැබ් ගත්තාට පස්සෙ, දරුවා ප්රසූත කිරීමේ කාලය ක්රමයෙන් ලඟා වෙත්දී, ඒ දින ඒ වකවානුව, ඒ අවස්ථාව කිට්ටු වෙත්දී ආනා තුමිය ඒ බව දැන ගත්තා. කොහොමද දැනගත්තෙ? ඇයගේම හදවත ඇතුලේ, ඇයගේ සිත ඇතුලේ, යම් හක්ෂක්, කව්දෝ කතා කරන යම් හක්ෂක්, කතා කරලා කියනවා වගේ හක්ෂක්, ඇයට ඇසෙන්නට දැනෙන්නට පටන් ගත්තා. ‛‛දැන් ඔබේ දරුවා ප්රසූත කිරීමේ කාලය, ප්රසූත කිරීමේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා සූදානම් වෙන්ඩ.’’ අන්න ඒ හක්ෂ අනුව තමයි, තම දියණියව, ඒ කියන්නෙ මරිය තුමියව බිහිකිරීම සඳහා ආනා තුමිය ලක ලෑස්ති උනේ. අපේ සාමාන්ය ලඳකට දරු ප්රසූතියේදී දැනෙන කිසීම වේදනාවක්, ආනා තුමියට ඇතිවුනේ නැහැ. ඒ කිසිම වේදනාවකින් තොරවමයි, කිසිම වේදනාවක් නැතුවමයි, ආනා තුමිය සිඟිති මරිය තකුමරියව බිහි කෙරුවෙ. කොච්චරද කියනවානම් බිහි කල අවස්ථාවේම මේ පුංචි දැරියට, මේ මරිය කුමරියට, ඇඳුම් පවා ඇන්දෙව්වේ ආනා තුමිය විසින්මයි. බිහි කරපු දරුවාව කිසිවෙකුගේ අතින්වත් අල්ලන්නට ආනා තුමිය ඉඩක් තැබුවේ නෑ. ඇගේම අතට අරගෙන, ඇය කෙලින්ම දෙවිඳුන්ට ප්රශංසා කෙරුවා, මෙවැනි පිං වන්ත හුරුබුහුටි ලස්සන දියනියක් මට දුන්නාවූ දෙවියනි, ඔබ වහන්සේට ස්තූතියි කියලා, දිග යාච්ඤාවක් ඒ වෙලාවෙම ආනා තුමිය මේ පුංචි බිළිඳියව අතේ තියාගෙන දෙවියන්ට ඔප්පු කෙරුවා. එය සෑහෙන දිග යාච්ඤාවක්.
ඉතින් මේ පුංචි බිළිඳියත් හරි ලස්සනයි, පිංවන්තයි, හුරුබුහුටියි. දැන් මේ පැය ගනනක් තාම වයස තියෙන පුංචි දැරියක්. ඒ වෙලාවෙම දේව දූත කණ්ඩායමක්, ඇත්තෙන්ම හරියට කියනවානම්, ක්රිස්තුස් වහන්සේ ඉපදිච්ච වෙලාවෙ දේව දූත කණ්ඩායමක් සුර ගී ගැයූ බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා වගේ, මේ කිරි කැටි මරියාවන් අතේ තබාගෙන ආනා තුමිය අර යාච්ඤාව උච්චාරණය කරත්දී දේව දූත කණ්ඩායමක් සුර ගී ගායනය කෙරුවා. ඒ දේව දූත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඒ දේව දූත කණ්ඩායම ලීඩ් කෙරුවෙ කව්ද දන්නවද, ගාබ්රියෙල් අග්ර දේව දූතයා විසින්. ක්රිස්තුස් වහන්සේ විසින්ම තමන් වහන්සේ මෙලොවට පැමිණීමට තෝරාගත් මාතාව, මෙන්න ලෝකයට දැන් බිහි වෙලා ඉන්නවා, මවු කුස පිළිසිඳ ගන්නටත් පෙර තෝරාගනු ලැබූ ආත්මය, දැන් මෙන්න මිනිස් ශරීරයක් ඇතිව මෙලොව ආලෝකය දකින අවස්ථාව ස්වර්ගය ද සතුටින් ඉපිලී ගියා. ඉතින් මරිය තුමී වෙනුවෙන්, මරිය තුමියගේ මව, එනම් ක්රිස්තුස් වහන්සේගේ ආච්චි අම්මා, ආනා තුමිය, යාච්ඤා කරත්දී, කිරිකැටි දැරිවිය තමන් වහන්සේට ම ඔප්පු කරත්දී, ක්රිස්තුස් වහන්සේගේ නියමය පරිදි ගාබ්රියෙල් අග්ර දේව දූතයාගේ මූලිකත්වයෙන් ප්රශංසා ගී රැව් පිලිරැව් දුන්නා. ආනා තුමිය කොහොමද මේක දැනගත්තෙ? පුදුමය කියන්නෙ මේ ගී ගායනය ආනා තුමියට ද ඇසුනා, ඒ නිසා එතුමිය දැන ගත්තා, ‛‛ආ මේ දේව දූත කණ්ඩායමේ සුර ගී ගායනයයි මට මේ කණ්කළු හඬින් මේ දැන් ඇහෙන්නේ.’’ ආනා තුමිය සිතුවා, එය ද දෙවියන්ට ප්රශංසා කිරීමේ ගී ගායනයක් වුනා.
මේ සියල්ලක් මම මරිය තුමියගෙන් දැන ගත්තා, මරිය තුමී ඇයගේ මව, ආනා තුමියගෙන් දැන ගත්තා, ඔයගොල්ලෝ අද දවසේ ඒ පිළිබඳව මගෙන් අසා දැන ගත්තා. මරිය තුමීගේ උත්පත්තියෙහි ප්රධානතම වටිනාකම රැඳි තියෙන්නේ ඒ උත්පත්තියේ ශ්රෙෂ්ඨත්වය රැඳී තියෙන්නේ, ඒ උපත සිදු වූ දිනයවත් වේලාවත් මත නොවෙයි. ඇත්තෙන්ම එතුමියගේ උපත සිදු වුනේ අසවල් මාසේ, අසවල් දිනයේදී යි කියලා කියන්ඩ මේ ලෝකේ කාටවත් බැහැ. ඒ ගැන කිසිදු සාක්ෂියක් ශුද්ධ ලියවිල්ලේවත්, වෙනත් ලියවිල්ලකවත් නැහැ. වැඩි දෙයක් උවමනා නැහැ, අඩුතරමින් ක්රිස්තුස් වහන්සේ ඉපදුන අවුරුද්දවත්, මාසයවත්, දිනයවත්, නිශ්චිතව ශුද්ධ වූ ලියවිල්ලේවත් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුනත් අපි දන්නවා වඩා වැදගත් වෙන්නේ සිදුවූ උපතයි. එය සිදුවූ දිනය නොවෙයි, එදා සිදුවූ උපතයි. උපත ලැබූ දැරිය හෝ දරුවායි. ඒ උපත ලැබූ ඒ සුන්දර දියණියයි. ඒ අප දයාබර නිර්මල කන්ය මරිය වහන්සේයි.
අද අපේ ජීවිත වල රැකවරණය වෙලා තියෙන්නේ, අපේ ජීවිතවල බලාපොරොත්තුව වෙලා තියෙන්නේ, අපගේ ජිවිත ගමනේ අද ජීවමාන ගුරුතුමිය බවට පත්වෙලා තියෙන්නේ, ඒ ආකාරයෙන් උපත ලැබූ මරිය තුමියයි. අපි එතුමියට දක්වන ගෞරවයද ආදරයද වන්නේ, එතුමිය කලින් කල අපට ප්රකාශ කරන පණිවිඩ ඔස්සේ ජීවත් වීමයි. එතුමියගේ පණිවිඩවල මූලික පදනම ජේසු තුමන් දෙසූ ධර්මය අනුව ජීවත්වන්න කියලා අපෙන් කරන ඉල්ලීමයි. ජේසු තුමන් අපට කියන කොයි දෙයක් වුවද කරන්ඩ, අන්න එතකොට ජලය මිදි යුෂ බවට පත්වීමේ ප්රාතිහාර්යයට වඩා වැඩි දෙයක් අපට ලබාගන්නට පුළුවනි. ඒ නිසා අපි ක්රිස්තුස් වහන්සේ වදාළ ධර්මය සොයන්නට ඕනා. දේව රාජ්ය සොයා ගන්නට නම්, උන්වහන්සේ දෙසූ ධර්මය දැනගන්නට ඕනා. අද ලෝකයට අපොස්තුළු තුමෙකුව උන්වහන්සේලා විසින් එවලා තියෙන්නේ ඒ ධර්මයේ හිස් තැන් පුරවන්නයි. ඒ ධර්මයේ ලියවිලා තිබෙන තැන්වල අඩුපාඩුකම් නිවැරදි කරන්නටයි. ඔබට ධර්ම මාර්ගය පෙන්වා දෙන්නටයි. ඔබේ යුතුකම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. මගේ වගකීම ඒ ධර්ම මාර්ගය ඔබට පෙන්වා දීමයි. මා මේ ලෝකයට පැමිණියේ නෑ, මාව මේ ලෝකයට එව්වා. ක්රිස්තුස් වහන්සේ විසින් මාව එව්වේ ඒ සඳහායි. ඒ කාර්යය ඉටුකිරීම මගේ පරම යුතුකමද ණය යුක්තිය ද බවට පත්වී තියෙනවා. ඇත්තෙන්ම මේ ලෝකයට මාගේ පැමිණීම ක්රිස්තුස් වහන්සේගේ ඉල්ලීමක් පිට, උන්වහන්සේගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම පිණිස පැමිණි දේව සැලැස්මක ගමනක්. ඒ ගමනේදී, මෙහිදීම මරිය තුමියව ද සමුවී එතුමියගෙන් ද තොරතුරු දැනගෙන ඔයගොල්ලන්ට කියන්නට ලැබුණුඑක පිළිබඳව ඔයගොල්ලො සන්තෝෂ වෙන්නට ඕනා.
mediamin November 14th, 2024
Posted In:
මම කෑගල්ලේ. මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියේ මටවත්, වෛද්යවරුන්ටවත් විසඳා ගැනීමට නොහැකිව අවුරුදු පහක් දුක් වින්ද රෝගී තත්වයකට නිර්මල කන්ය මරිය තුමිය වූ කටුනායක මෑණියන්ගේ පිහිට සොයාගෙනයි. මම දුක් වින්ද රෝගි තත්වය මෙහෙමයි. මට තිබුනේ උගුරේ ආබාධයක්. මුලින්ම ඇතිවුනේ කෙල ගිලින විට උගුරේ රිදිල්ලක්. එය මාස දෙකක් විතර තිබුණා. පසුව කෑම ගිලින විටත් උගුරේ රිදිල්ල ඇතිවෙන්නට පටන් ගත්තා. එයට විවිධ ප්රතිකාර කලත් සුවයක් ලැබුනේ නැහැ. පසුව කතා කරන විටත් උගුරේ රිදිල්ල ඇති වුනා. ක්රමයෙන් මේ තත්වය වැඩිවෙන්නට පටන් ගත්තා. ඝන ආහාර ගැනීම බොහෝම දුෂ්කර උනා. ජීවිතය පවත්වා ගැනීම සඳහා පමණක් තමයි බොහෝම අමාරුවෙන් ඝන ආහාර ගත්තේ. කතා කරන විට ඇතිවුන උගුරේ රිදිල්ලත් වැඩි වුනා. විනාඩි දෙකකට වඩා කතා කරන්නට බැරුව ගියා. අධිකව උගුරේ වේදනාව දැනෙන්නට පටන් ගත්තා. මෙහෙම කාලයත් ගත වුනා. වෛද්යවරුන් ගණනාවක් ම පරීක්ෂා කලා. විවිධ බෙහෙත් වර්ග නියම කලා. වෛද්ය පරීක්ෂණ ගණනාවක්ම කලා. X RAY කලා. SCAN කලා. ඒවානම් ගණන් කරන්නත් බැරි තරමට ම කලා. සියල්ලට ම මුදල් වියදම් වුනා විතරයි. X RAY බලලා SCAN බලලා වෛද්යවරුන් කිව්වේ කිසිම රෝගී තත්වයක් නොමැති බවයි. නමුත් බෙහෙත් දුන්නා. එකම එක වෛද්යවරයෙක් විතරක් කිව්වා, උගුරේ පොඩි අමුත්තක් තියෙනවා, අපි ටිකක් බෙහෙත් කරලා බලමු කියලා. ඒ දෛද්යවරයා මාස අටක් බෙහෙත් දුන්නා. නමුත් සුවයක් ලැබුනේ නැහැ. පසුව මට තේරුණා ඒ වෛද්යවරයාටත් කරගන්න දෙයක් නැහැ කියලා. හරියකට කෑමක් ද නැති නිසා මම කෙට්ටු වෙන්නත් පටන් ගත්තා. ඇඟ දුර්වල වෙලා විටින් විට රෝගී වෙන්නත් පටන් ගත්තා. මගේ මුදල් තත්වයත් පිරිහෙන්නට පටන් ගත්තා. මේ විදිහට අවුරුදු පහක් ගත වුනා.
දවසක් අපේ ගෙදර ආපු මගේ මිතුරෙක් මට පුදුම කතාවක් කිව්වා. ඒ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැනයි. එතන හාස්කම් සාගරයක් කියලා කිව්වා. ඔහුගේ පර්ස් එකේ තිබුණ කටුණායක මෑණියන්ගේ ප්රතිමාවේ පින්තූරයකුයි, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ පින්තූරයකුයි මට පෙන්නුවා. සෙනසුරාදා සවස 6 ට දේව මෙහෙය පැවැත්වෙන බවත්, ඒ වුනාට හෙට ම සිද්ධස්ථානයට ගිහිල්ලා සිද්ධස්ථාන භූමියේ තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්රතිමාව ඉදිරියේ රෝස මල් ඉටිපහන් පත්තු කරලා භාරයක් වෙන්න කිව්වා. භූමියේ තැන්පත් කරලා තියෙන කටුනායක මෑණියන්ගේ ප්රතිමාවත් මහා පුදුම ප්රතිමාවක් බවත්, සතියේ දිනවල බොහෝ දෙනක් කටුණායක මෑණියන්ගේ පිහිට ඉල්ලාගෙන එතැන යාච්ඤා කරන බවත් මිතුරා පැවසුවා. පැය තුනක් පමණ වෙලා ඔහු විස්තර කිව්වා. මතක් කරලා හෙටම යන්න කියලා ගමන් මාර්ගයත් මට දාල දුන්නා. එදා අඟහරුවාදා දවසක්.
පසුදින බදාදා, මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයාගෙන ගියා. සිද්ධස්ථානය සොයාගන්නට මට අමාරු වුනේ නැහැ. මම රෝස මල් ඉටිපහන් දහයක් ලබා ගත්තා. සිද්ධස්ථාන භූමියේ තැන්පත් කර තිබුණ කටුනායක දේව මෑණියන්ගේ ප්රතිමාව පසෙකින් ඉටිපහන් දල්වලා තැන්පත් කලා. ප්රතිමාව පාමුළ දණ ගහලා, මගේ දුක, මගේ රෝගී තත්වය, මා විඳින වේදනාව මම දේව මෑණියන්ට කිව්වා. පස්සෙ මට හිතුනා තව ටික වේලාවක් යාච්ඤා කරන්නට ඕනා කියලා. මම හිටපු තැන අව්ව ටිකක් තිබුණ නිසා, ප්රතිමාව පෙනෙන පැත්තක සෙවනට වෙලා, බිම වාඩිවී මම යාච්ඤා කලා. ටික වේලාවක් මම යාච්ඤා කරත් දී මම දැක්කෙ මහ පුදුම දෙයක්. දේව මෑණියන්ගේ ප්රතිමාවේ, ඉනේ තිබුන නිල් පාට පටිය ජීවමානව දිලිසෙන්නට පටන් ගත්තා. මම පුදුමයෙන් ඒ දෙස බලා සිටියා. සාක්කුවෙන් ලේන්සුව අරගෙන දෑස් පිසදා බලාගෙන සිටියා. පුදුමයි. විනාඩි දහයක් පමණ මම ඒ දසුන දැක්කා. ඊට පස්සෙ ප්රතිමාවේ නිල් පටිය මම මුලින් ම දුටුව සාමාන්ය තත්වයට පත් වුනා. මගේ ඇස්වලින් කඳුළු ආවා. මම තවත් ටික වේලාවක් යාච්ඤා කරලා, ප්රතිමාවට අත තබා සිපාචාර කරලා, සිද්ධස්ථානයේ ගේට්ටුවෙන් එළියට ඇවිත්, මම මුලින්ම කලේ, කටුනායක දේව මෑණියන්ගේ සිද්ධස්ථානය ගැන මට කියපු මිතුරාට දුරකතන ඇමතුමක් ගැනීමයි. ඔහුට සියළු විස්තර කිව්වා. ඔහු පුදුමයට පත් වුනත්, ඔහු කිව්වේ කටුනායක පල්ලියේ සිද්ධවෙන හාස්කම් දන්නවානම් ඕක බොහොම සුළු සිද්ධියක් කියලයි. කොහොම වුනත් මාව සම්පූර්ණයෙන් ම සුවපත් වෙන බවත්, ඒ ලැබුනේ ඊට සංඥාවක් බවත් ඔහු කිව්වා. එදින සවස අපේ ගෙදර එන බවත් ඔහු කිව්වා.
එදාම සවස ඔහු අපේ ගෙදර ආවා. මගේ කතාව ආයෙත් මුල සිටම අසා ගත්තා. ඔහු කඳුළු පිරුණ ඇස් දෙකෙන් නැඟිටලා මාව බදාගෙන කිව්වෙ, ස්ථීරයෙන් ම කටුනායක පල්ලියේ දී මරිය තුමී මාව සුවපත් කරන බවයි. ඊට පසු සෙනසුරාදා සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට ඔහුත් සමග ම යන්නට ලෑස්ති වී ඉන්න කියලා කිව්වා. හාස්කම් යාච්ඤාවේ දී රතු පෙට්ටියට ලිපියක් දැමීමේ අවස්ථාව ගැනත් පැවසූ ඔහු, ඔහු ලඟ වැඩිපුර ඇති ලිපිකවරක් ද කාරෙකෙන් අරගෙන මට දුන්නා. මගේ රෝගී තත්වය ගැන සම්පූර්ණ විස්තරය ලිපියේ ලියන්න කිව්වා.
ඊට දින තුනකට පස්සෙ සෙනසුරාදා අපි දෙදෙනා ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ගියා. එදා දේව මෙහෙයෙන් පසුව ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදෙන බව දැනගන්නට ලැබුනා. තරමක් වේලාසනින් ගිය නිසා ඒ සඳහා කාඩ්පත් දෙකක් අප දෙදෙනාට ලබාගන්නට හැකි වුනා. සවස 6 ට හාස්කම් දේව මෙහෙය ආරම්භ වුනා. හාස්කම් යාච්ඤාවේ දී රතු පෙට්ටියට ලිපි දමන විට, කියන්නට කියලා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පැවසූ ආශිර්වාද වැකියත් මම සිතින් කිය කියා රතු පෙට්ටිය ලඟට කිට්ටු වුනා. රතු පෙට්ටිය ලඟ දේව මණියන්ගේ ප්රතිමාව දෙස බලත් දී ම, උගුරේ ලොකු දැවිල්ලක් ඇති වුනා. හරියට ම කිව්වොත් කවුරුහරි උගුර පුච්චනවා වගේ. මම ඒ වේදනාව දරාගෙන, මගේ ලිපිය රතු පෙට්ටියට දැම්මා. එහෙම පිච්චෙන වේදනාවක් ඊට පෙර කවදාකවත් ඇතිවෙලා නැහැ.
හාස්කම් මෙහෙයෙන් පස්සෙ, ශුද්ධවූ කුරුසියෙ ආශිර්වාදය ලබා දීමට ආරම්භ කරනතෙක් තිබුණ විනාඩි කීපය තුල, මම සිදු වූ දේ මගේ මිතුරාට කිව්වා. උගුරේ දැවිල්ල ඒ අවස්ථාවේ දීත් තබුණා. මිතුරා කිව්වේ භය වෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න. මෙතන මහ පුදුම තැනක්. අද මොකක් හරි වෙයි. අපි ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදයත් ලබා ගමු. ආශිර්වාදය දෙන්නෙත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා. ඒ නිසා ඒ ආශිර්වාදය මඟහැර ගන්නෙ නැතුව, අපි එය ලබා ගමු කියලයි.
ටික වේලාවකින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ශූද්ධවූ කුරුසියේ ආශිර්වාදය ලබාදීම ආරම්භ කලා. ඒ වෙනකොටත් මගේ උගුරේ දැවිල්ල අඩුවෙලා තිබුනේ නැහැ. මොකක්ද මට උනේ කියලා මට බයකුත් ඇති වුනා. ශූද්ධවූ කුරුසියේ ආශිර්වාදය මට ලැබෙන අවස්ථාව උදා වුනා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මගේ හිස මත ශූද්ධවූ කුරුසිය තබනවාත් සමගම උගුරේ දැවිල්ල, විදිල්ලක් කොටනවා වගේ ක්ෂණයකින් නැති වුනා. අවුරුදු පහක් තිබුණ උගුරේ වේදනාව ද නැතුවගිය බව මට ඒ සමගම දැනුනා.
පිටතට ඇවිත් මගේ පුදුම විස්තරය මිතුරාට කිව්වා. ඔහුට හරිම සතුටුයි. ඒකනෙ මම කිව්වෙ, මෙතන හාස්කම් සාගරයක් කියලා. විශ්වාසයෙන් මෙතන දී ඉල්ලුවොත් ලැබෙනවා ම තමයි කියලා ඔහු කිව්වා. සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත, එදා නිල් පටිය ජීවමාන වූ ප්රතිමාව ඉදිරියේ නැවතත් අපි දෙන්නාම රෝස මල් ඉටිපහන් පත්තු කරලා, ආපසු කෑගල්ලට එන්න පිටත් වුනා. ඒ එන අතර මග, දිගටම අපි කතා කරමිනුයි ආවේ, සින්දුවක් දෙකකුත් කිව්වා. අතර මග රෑ කඩයකින් කාලෙකට පස්සෙ අපි දෙන්නාම බඩ පිරෙන්න ආප්ප කෑවා. අවුරුදු පහක් වින්ද වේදනාව කිසිම දෙයක් මට දැනුනේ නැහැ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා කුරුසියෙන් මට ආශිර්වාද කරලා. කටුනායක මෑණියෝ මාව සුවපත් කරලා. ඇත්තටම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, හාස්කම් සාගරයක්.
බර්නාඩ් රාජ් වනිගරත්න – කෑගල්ල
mediamin November 14th, 2024
Posted In:
2024 අගෝස්තු 17 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් තුරුලේ හොවාගත් නිර්මල කන්ය මරිය මාතාවන්ගේ ප්රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරෙමින් තිබිය දී, එම ප්රාතිහාර්යය ආරම්භ වී විනාඩි 15කට පමණ පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දර්ශණ දෙව්මැඳුරේ මෙම ප්රාතිහාර්යය සිදුවෙමින් පැවත් දෙව් මවුන්ගේ ප්රතිමාව පාමුළ සිට සැදැහැවතුන් අමතා පවත්වනු ලැබූ දේශණය
‛‛නිර්මල මරිය මාතාවන්ගේ ඇල්මත් බැල්මත් වසර පනහක් පුරාවට ම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙතට යොමු වී ඇති බවට හොඳම නිදසුන වන්නේ, විටින් විට නිරන්තරයෙන් ඕතුමියගේ ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදී පැතිරීමයි. විටින් විට නිරතුරුව මේ ප්රාතිහාර්යය සිදුවන ලොව එකම සිද්ධස්ථානය වන්නේ, මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මේ වන විට සයවන වරටත් මේ මහා ප්රාතිහාර්යය මේ අවස්ථාවේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල සිදුවෙමින් පවතිනවා. මේ අවස්ථාවේ මා ඔබට කතා කරන්නේ, ප්රාතිහාර්යාත්මක ලෙසින් පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවුන්ගේ ප්රතිමාවට ඉතාමත් සමීපව සිටයි. පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි. ඔබ සියළු දෙනාටම දර්ශණ දෙව්මැඳුර තුල පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවු ප්රතිමාව සමීපයට පැමිණ මේ මහා ප්රාතිහාර්යය දැකබලා ගැනීමට ස්වල්ප වේලාවකින් අවස්ථාව සලස්වනවා.’’
ඉහත සඳහන් ප්රකාශය කරනු ලැබුවේ, නිර්මල කන්ය මරිය මාතාවන්ව විසිතුන් වාරයක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලබා සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසිනුයි.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට සැදැහැවතුන් අමතා එවන් ප්රකාශයක් කරන්නට සිදුවූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ නිර්මල කන්ය මරිය මාතාවන් විසි තුන් වාරයක් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුල ස්ථාපිත, ජේසු බිළිඳුන් වම් පස තුරුලේ හොවාගෙන වැඩ සිටින දෙව් මවුන්ගේ ප්රතිමාවෙන් සය වෙනි වරටත් පිච්ච මල් සුවඳ ප්රාතිහාර්යාත්මක ලෙසින් පැතිරෙන්නට ආරම්භ වූ නිසයි.
එම අවස්ථාවේ සුපුරුදු ලෙසින් හාස්කම් යාච්ඤාව උච්චාරණය කරමින්, විවිධ ප්රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන්ගෙන්, සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන පිරී තිබුණා. දර්ශණ දෙව්මැඳුරේ ප්රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇති, පිච්ච මල් සුවඳ පැතිරෙන ලොව එකම දෙව් මවු සහ ජේසු බිළිඳු ප්රතිමාව පාමුල සිට සැදැහැවතුන් අමතමින්, මෙම පිච්ච මල් සුඝන්ධය පැතිරීමේ ඉතිහාසය ද මතක් කරමින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙසේ ද පවසනු ලැබුවා.
‛‛නිර්මල කන්ය මරිය මාතාවෝ ජේසු බිළිඳුන් ද සමගින් මා ඉදිරියේ ජීවමානව ම පෙනී සිටියේ 1977 ජූලි 27 වෙනි දිනයි. එම අවස්ථාව අදටත් මට හොඳට මතකයි. ඒ එතුමියගේ දසඅට වන දර්ශණයයි. මෙම දර්ශණයන් සිදු වූ අභිනව දර්ශණ දෙව්මැඳුර 2018 අගෝස්තු 11 වෙනි දා මා විසින් විවෘත කරනු ලැබුවා. අභිනව දර්ශණ දෙව්මැඳුරේ ප්රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කිරීම සඳහා දෙව් මවුන්ගේ ප්රධාන ප්රතිමාව ලෙසින් යොදා ගැනීමට මම කැමති වුනේ, එතුමිය ජේසු බිළිඳුන් ද සමගින් දර්ශණය වූ අවස්ථාව පෙන්නුම් කෙරෙන දසඅට වන දර්ශණයේ ප්රතිමාවයි.’’
දර්ශණ දෙව් මැඳුර තුල සිට සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබුවා.
‛‛2018 අගෝස්තු 11 වෙනි දින දර්ශණ දෙව්මැඳුර විවෘත කිරීමත් සමගම ජේසු බිළිඳුන් ද සමගින් දෙව් මවු ප්රතිමාව ද සැදැහැවතුන්ගේ නිරන්තර ගරුබුහුමනට ලක්වෙන්නට වුනා. එම දිනයෙන් පසුව, 2019 ජූලි 27 වෙනි දිනය ප්රථම වරට දර්ශණ දෙව්මැඳුරට උදාවූයේ දෙව් මවුන් ජේසු බිළිඳුන් සමග දර්ශණයවීමේ 42 වෙනි සංවත්සර දිනය ලෙසටයි. ඉතින් එම 18වන දර්ශණයේ 42 වෙනි සංවත්සර දිනය වූ 2019 ජූලි 27 වෙනි දා ප්රථම වරට මේ දෙව් මවු ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ විහිදී පැතිරෙන්නට වුනා. එදා සෙනසුරාදා දවසක්. බැතිමතුන් රැසක් හාස්කම් යාච්ඤාව සඳහා මෙම සිද්ධස්ථානයට රැස්ව සිටියා. දෙව් මවු ප්රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුවඳ දර්ශණ දෙව්මැඳුර තුල පමණක් නොවෙයි, සිද්ධස්ථාන භූමිය පුරාත් විහිදෙන්නට වුනා. රැස්ව සිටි සැදැහැවතුන් සැමට ම ප්රතිමාව අසලට යාමට අවස්ථාව ලැබුණා. සෑම බැතිමතෙකුට ම පිච්ච මල් සුවඳ විඳ ගැනීමට අවස්ථාව ලැබුනා.’’
දෙව් මවු සහ ජේසු බිළිඳු ප්රතිමාව පාමුල සිට පිච්ච මල් සුවඳ අතරින් තව දුරටත් සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙලෙස ද පවසනු ලැබුවා.
‛‛2019 ජූලි 27 වෙනි දින පළමු වරට මේ දෙව් මවු ප්රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරීමත් සමග අද 2024 අගෝස්තු 17 වෙනි දින දක්වා සෑම වසරක ම මේ ප්රාතිහාර්යය දෙව් මවුන් අප ඉදිරියේ කර තිබෙනවා. 2020 ඔක්තෝම්බර් 3 වෙනි දා දෙවන වරටත්, 2021 ඔක්තෝම්බර් 9 වෙනි දා තුන්වන වරටත්, 2022 අගෝස්තු 20 වෙනි දා සතරවෙනි වරටත්, පස්වෙනි වරට 2023 ඔක්තෝම්බර් 20 වෙනි දින සවස ආරම්භ වී ඔක්තෝම්බර් 21 වෙනි දින සවස දක්වා දින දෙකක් පුරාත් මේ මහා ප්රාතිහාර්යය අවුරුදු පතා සිදුවී, අද 2024 අගෝස්තු 17 වෙනි දින මේ දැන් සිදුවෙමින් පවතිනවා.’’
මේ උතුම් ප්රාතිහාර්යය වූ, දර්ශණ දෙව්මැඳුර තුල දෙව් මවු ප්රතිමාවෙන් පැතිරෙන පිච්ච මල් සුඝන්ධය විඳ ගැනීමට රැස්ව සිටින සියළුම සැදැහැවතුන්ට අවස්ථාව ලබා දෙමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් ද ප්රකාශ කරනු ලැබුවා.
‛‛දර්ශණ දෙව්මැඳුර තුල පිච්ච මල් සුවඳ පැතිරෙණ අප ආදර දෙව් මවුන් ජේසු බිළිඳුන් සමග වැඩ සිටින ප්රතිමාව අසලට ම පැමිණ මේ මහා පුදුමය සිදුවන ප්රතිමාව දැකබලා ගැනීමටත්, විහිදෙන පිච්ච මල් සුවඳ විඳ ගැනීමටත් දැන් ඔබ සියළු දෙනාට ම අවස්ථාව ලැබෙනවා. ඔයගොල්ලන්ට ඕන තරම් කාලය අරගෙන දර්ශණ දෙව්මැඳුර තුල ගත කරන්න. ලොව පුරා දෙව් මවුන්ට කැපකර ඇති දෙව්මැඳුරු, සිද්ධස්ථාන කොතෙක් ඇතත්, මේ ශ්රී ලංකාව පුරා ද, දෙව් මවුන්ට කැපකර ඇති දෙව්මැඳුරු, සිද්ධස්ථාන කොතෙක් ඇතත්, මහ පාරවල් අද්දර දෙව් මවුන්ගේ ප්රතිමාවන් කෙතරම් ඇතත්, පිච්ච මල් සුවඳ පැතිරෙන දෙව් මවුන්ගේ ප්රතිමාවන් ඇත්තේ, ශ්රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පමණයි. නිර්මල කන්ය මරිය තුමී 23න් වතාවක් දර්ශණය වූ ශ්රී ලංකාවේ පිහිටි එකම දෙව් මවු සිද්ධස්ථානයයි මේ.’’
mediamin November 14th, 2024
Posted In: