මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ශුද්ධවූ දේශයේ දී දුටුව ප්‍රතිමාවක් පිළිබඳව මනරම් විස්තරයක්

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ශුද්ධවූ දේශයේ දී දැක ගන්නට ලැබුණ ප්‍රතිමාවක් පිළිබඳව විස්තර කරමින් 2014 සැප්තැම්බර් 4 වෙනි සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධෝත්තම පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී, සැදැහැවතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවත්වනු ලැබූ දේශණය

දැනට වසර කීපයකට පෙර මම ශුද්ධවූ දේශයේ අපොස්තලික වන්දනා චාරිකාවක නියැළුනු අවස්ථාවේ, එහිදී මා මුහුණ දුන් අත්දැකීමක් අද සවස ඔබ සමඟ බෙදා ගන්නට මා අදහස් කරනවා. අප දයාබර මෑණියන්ද අප ස්වාමින්වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද මෙලොව ජීවත්වන කාලයේ උන්වහන්සේලා දිවි ගෙවූ, උන්වහන්සේලාගේ ජිවිතවල විවිධ අවස්ථාවන්වලට මේ පොලෝතලය මතදී මුහුණ දුන් එම ස්ථාන දැක ගැනීමට ලද ඒ අවස්ථාව මා ලද විශාල භාග්‍යයක් ලෙසටයි අදත් මා සලකන්නෙ. සෑම අපොස්තුළු තුමෙකුගේම පාද ස්පර්ශය ලැබූ, එපමණක්ද නොවෙයි ජේසු තුමන් සහ දෙව් මවුන් ද ජීවමානව මේ ලෝකයේ වැඩ වසන කාලයේ උන්වහන්සේලාගේ ද පාද ස්පර්ශය ලැබූ ඒ ශුද්ධවූ දේශයේ කල වන්දනා චාරිකාවේදී, දවසක් එක් තරුණ පුජාප්‍රසාදි තුමෙක් මට ආරාධනා කෙරුවා, මට පහසු දිනයක ඔහුගේ ස්ථානයට එන්නට කියලා, රාත්‍රී භෝජන සංග්‍රහයකට. ඒ ආරාධනය මම පිළිගත්තා. ඉතින් ශුද්ධවූ දේශයේ, ඒ පුජාප්‍රසාදි තුමා ජීවත් වන, එතුමා පදිංචි ස්ථානයට ඒ කතාකරගත් වෙලාවට මම ගියා.

ඒ පුජාප්‍රසාදි තුමා ඉතාමත් ගෞරවයෙන් යුක්තව, ඉතාමත් ආදරයෙන්, මා ඔහුගේ ස්ථානයට පිළිගත්තා, ඔහු කිව්ව වචන මට අදටත් මතකයි, ඔහුගේ දෑතින්ම මගේ දෑත් අල්ලාගෙන මෙහෙම කිව්වා. ‛‛ජේසු තුමන්ගේද මරිය තුමිගේද සියළුම අපොස්තුළු තුමන්ලාගේද පාද ස්පර්ෂය ලැබූ මේ දේශයේදී නැවතත් ජීවමාන අපොස්තුළු තුමෙකුව පිළිගන්නට මාගේ ජිවිතයේදී මට හැකියාව ලැබීම ගැන අද මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා’’ එහෙම කියලා ඔහු මාව කැඳවාගෙන ගියා අමුත්තන් පිළිගන්නා ශාලාවට. අපි දෙදෙනා ටික වේලාවක් එහි කතාබස් කරමින් සිටියා. ඒ ශාලාවේ එක් කොනක තිබුණ ප්‍රතිමාවක් වෙත නිතර නිතර මගේ ඇස් දිවගියා. ඒ පූජාප්‍රසාදි තුමා සමග කතා කරමින් සිටින අතරේ, මා විටින් විට බැලුවේ අර ප්‍රතිමාව දෙසයි. ඒ පූජාප්‍රසාදි තුමාට පවා ටික වේලාවක් යත්දී තේරුම්ගියා, මගේ වැඩි අවධානයක්, ඒ ප්‍රතිමාව වෙත යොමු වෙනවා කියලා, මොකද දෙවරක්ම එතුමාද ඒ ප්‍රතිමාව දිහා හැරී බැලුවා. ඒ ප්‍රතිමාව ඔහුට අමුත්තක් නොවෙයි. නමුත් ඒ ප්‍රතිමාවෙන් යම් අමුත්තක් මම දුටුවා, මොකක්ද මේ ප්‍රතිමාව කියලා කුතුහලයක් මට ඇති වුනා. ඒ ප්‍රතිමාවෙන් දැක්වුනේ මරිය තුමී පුංචි දැරියක්ව ලංකරගෙන ඇයට මොනවදෝ කියාදෙන ආකාරයයි. ඒ ප්‍රතිමාවෙන් පිළිඹිබු වුනේ ඒකයි. මරිය තුමී පුංචි දරුවෙක්ව, ඒ කියන්නෙ ජේසු බිළිඳාව තුරුළු කරගත්ත ප්‍රතිමා මම ඕන තරම් දැකලා තියෙනවා. වර්ෂ 1977 ජූලි 27 වෙනි දා නිර්මල කන්‍ය මරිය තුමිය, මෙම සිද්ධස්ථානයේ දී මා ඉදිරියේ දර්ශණය වුනෙත්, එතුමියගේ වම් අතින් ජේසු බිළිඳුන් වඩවා ගෙනයි. නමුත් ශුද්ධ වූ දේශයේ දී දැකපු දේව මෑණියන්ගෙ අර ප්‍රතිමාවෙ, පුංචි දැරියක් තුරුළු කරගෙන, ඒ පුංචි දැරියට මොනවදෝ පවසන අයුරු දැක්වෙන ප්‍රතිමාවක් දැක්කහම මම ටිකක් පුදුම වුනා. ටික වෙලාවකින් අර පූජාප්‍රසාදි තුමා මගෙන් ඇහැව්වා, ‛‛ඔබ වහන්සේ ඇයි අර ප්‍රතිමාව දිහා නිකන් කුතුහලයෙන් වගේ නිතර නිතර බලන්නේ’’ කියලා. මං ඒ පූජාප්‍රසාදි තුමාට කිව්වා, ‛‛මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?’’ එතකොට ඒ පුජාප්‍රසාදි තුමා හිනාවෙලා මට පිළිතුරු දුන්නා, ‛‛ආ ඒක එතරම් ගණන් ගන්න දෙයක් නොවෙයි, ඒ ඉන්නේ ආනා මුනිශ්වරි, ආනා මුනි තුමියයි. ඒ තුරුළු කරන් ඉන්නේ එතුමියගේ කුඩා දියණිය මරිය තුමියවයි.’’ ඉතින් ඒ කතාව එතනින් ඉවරයි.

එදා රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගි වෙලා, මම නවාතැන් ගෙන හිටපු හෝටලයට ආපසු ඇවිදින් මගේ කාමරයේ මම නිදාගෙන ඉන්නකොට මට මතක් වුනේ සවස සිදුවෙච්ච අර සිද්ධියයි, අර දැකපු ප්‍රතිමාවයි. මට ඒක එක්තරා විදිහක අත්දැකීමක් උනා. ඒ මන්දයත් මම මරිය තුමීව දෑසින් දුටු පුද්ගලයෙක්. ජේසු බිළිඳුන් සමගම පවා මම එතුමියව දැක ගත්තා. ඒ බව දැක්වෙන ප්‍රතිමාව තමයි, අපේ අර පෙනෙන දර්ශණ දෙව්මැඳුරෙ ප්‍රධාන ප්‍රතිමාව. පසුගිය අගෝස්තු 17 වෙනි සෙනසුරාදා ඒ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවඳ පැතිරුණා. පළමුවෙනි වරට නොවෙයි, සයවෙනි වරට. ප්‍රතිහාර්‍යය සිදුවෙලා තවම මාසයක්වත් නැහැ. ඔයගොල්ලො ඒ අවස්ථාව දැක්කා ප්‍රතිමාව ලඟට ම ඇවිල්ලා සිත්සේ සුවඳ විඳ ගත්තා.

ඉතින් අර කිවූ ප්‍රතිමාව දුටු දා රාත්‍රියේ මම කල්පනා කලේ, මරිය තුමියගේ ජීවිතය සම්බන්ධව, මරිය තුමී තම මෑණියන්ගෙන්, එනම් ආනා තුමියගෙන්ම ඇයගේ පුංචි කාලය ගැන, ඇයගේ උපත ගැන දැනගත්ත කරුණු මා එක්ක කියලා තියනවා, ඉතින් මට හිතුනා ආනා තුමිය, ඒ කියන්නේ මරිය තුමියගේ මව, ආ මේ ආකාරයට වෙන්ඩ ඇති ඇයව ලඟින් තියාගෙන, ඇයව තුරුළු කරගෙන අර පුංචි කාලෙ වෙච්ච රසවත් සිදුවීම් කියලා දෙන්ඩ ඇත්තෙ. අපි වුනත් අම්මලා දන්නවා නේද දරුවො පුංචි කාලෙ, බහ තෝරන කාලෙදි ඒ දරුවන්ව කිට්ටු කරගෙන. ‛‛ආ පුතා පුංචි කාලෙ මෙහෙම දෙයක් උනා නැත්තම් දුව පුංචි කාලෙ මෙන්න මෙහෙම දෙයක් උනා, ඔයා පුංචි කාලෙ හුඟාක් දඟයි, නිතරම මගෙ ගවුමෙ මගෙ හැට්ටෙ පුංචි හිලක් හදාගෙන ඕක පහුරුගානවා, ඕක ලොකු කරනවා,’’ ඉතින් ඔය වගේ කතා කියනවා. ඔයගොල්ලන්ගෙ වුනත් අත්දැකීම ඕකයි. ඉතින් මරිය තුමීගේ උනත් අත්දැකීම එයයි. අර ප්‍රතිමාවෙන් පෙන්නුම් කෙරුවෙ, අර ප්‍රතිමාවෙන් කියා පෑවෙ ආනා තුමිය තම දියණියට ඇගේ පුංචි කාලය ගැන වටහල දුන්නු, කියලා දුන්නු ආකාරය නේද කියලා මම හිතුවා. මරිය තුමියගේ කුඩා කාලය පිළිබඳව, මම ඇයගෙන්ම කරුණු දැනගෙන තිබුණු නිසා, අර ප්‍රතිමාව එක්තරා අන්දමකින් මට නැවතත් මරිය තුමියගේ වදන් සිහිකරවන්නක් වුනා.

මරිය තුමීගේ මවු පියන් වුනේ ජෝකීනු සහ ආනා තුමියයි. අද ඒ අය වෙනුවෙන් ලොකු දෙව්මැඳුරු කොච්චර ඉදිකරලා තිබුනත් ඒ අය ක්‍රිස්තියාණිය ලබපු පුද්ගලයොවත් නොවෙයි. කවුරුවත් ඒ ගොල්ලන්ගෙ හිසට වතුර වත්කලේ නැහැ. ජේසුස් ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිත සමය ආරම්භ කරන්ඩත් කලින් ඒ දෙන්නා මිය ඇදුනේ. ජුසේ තුමා පවා ක්‍රිස්තියානි වෙච්ච කෙනෙක් නොවෙයි. ජේසුස් ස්වාමින් වහන්සේ බොහෝම ගැටවර කාලයේදී තමයි ජුසේ තුමා මෙලොවින් සමු ගත්තෙ.

ඉතින් මේ ආනා සහ ජෝකීනු දෙපළට දරුවො හිටියෙ නැහැ. විවාහයෙන් පස්සෙ ලොකු කාලයක් ඒ ගොල්ලෝ දුක් වින්දා ඒ ගැන. එහෙම ඉද්දී තමයි දේව සැලැස්මක් ක්‍රියාත්මක වෙලා, ආනා සහ ජෝකීනු දෙපළට පුංචි දුවක් ලැබුනෙ. ඒ දුවණිය තමයි, අද අපේ ආදරයට පාත්‍රව සිටින මරිය තුමිය.

ඉතින් මරිය තුමී ආනා තුමියගේ කුසයේ පිළිසිඳගෙන, ඒ කියන්නෙ මරිය තුමී ආනා තුමියගේ කුසයේ ගැබ් ගත්තාට පස්සෙ, දරුවා ප්‍රසූත කිරීමේ කාලය ක්‍රමයෙන් ලඟා වෙත්දී, ඒ දින ඒ වකවානුව, ඒ අවස්ථාව කිට්ටු වෙත්දී ආනා තුමිය ඒ බව දැන ගත්තා. කොහොමද දැනගත්තෙ? ඇයගේම හදවත ඇතුලේ, ඇයගේ සිත ඇතුලේ, යම් හක්‍ෂක්, කව්දෝ කතා කරන යම් හක්‍ෂක්, කතා කරලා කියනවා වගේ හක්‍ෂක්, ඇයට ඇසෙන්නට දැනෙන්නට පටන් ගත්තා. ‛‛දැන් ඔබේ දරුවා ප්‍රසූත කිරීමේ කාලය, ප්‍රසූත කිරීමේ අවස්ථාව ඇවිල්ලා තියෙනවා සූදානම් වෙන්ඩ.’’ අන්න ඒ හක්‍ෂ අනුව තමයි, තම දියණියව, ඒ කියන්නෙ මරිය තුමියව බිහිකිරීම සඳහා ආනා තුමිය ලක ලෑස්ති උනේ. අපේ සාමාන්‍ය ලඳකට දරු ප්‍රසූතියේදී දැනෙන කිසීම වේදනාවක්, ආනා තුමියට ඇතිවුනේ නැහැ. ඒ කිසිම වේදනාවකින් තොරවමයි, කිසිම වේදනාවක් නැතුවමයි, ආනා තුමිය සිඟිති මරිය තකුමරියව බිහි කෙරුවෙ. කොච්චරද කියනවානම් බිහි කල අවස්ථාවේම මේ පුංචි දැරියට, මේ මරිය කුමරියට, ඇඳුම් පවා ඇන්දෙව්වේ ආනා තුමිය විසින්මයි. බිහි කරපු දරුවාව කිසිවෙකුගේ අතින්වත් අල්ලන්නට ආනා තුමිය ඉඩක් තැබුවේ නෑ. ඇගේම අතට අරගෙන, ඇය කෙලින්ම දෙවිඳුන්ට ප්‍රශංසා කෙරුවා, මෙවැනි පිං වන්ත හුරුබුහුටි ලස්සන දියනියක් මට දුන්නාවූ දෙවියනි, ඔබ වහන්සේට ස්තූතියි කියලා, දිග යාච්ඤාවක් ඒ වෙලාවෙම ආනා තුමිය මේ පුංචි බිළිඳියව අතේ තියාගෙන දෙවියන්ට ඔප්පු කෙරුවා. එය සෑහෙන දිග යාච්ඤාවක්.

ඉතින් මේ පුංචි බිළිඳියත් හරි ලස්සනයි, පිංවන්තයි, හුරුබුහුටියි. දැන් මේ පැය ගනනක් තාම වයස තියෙන පුංචි දැරියක්. ඒ වෙලාවෙම දේව දූත කණ්ඩායමක්, ඇත්තෙන්ම හරියට කියනවානම්, ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච වෙලාවෙ දේව දූත කණ්ඩායමක් සුර ගී ගැයූ බව ශුද්ධ බයිබලයේ සඳහන් වෙනවා වගේ, මේ කිරි කැටි මරියාවන් අතේ තබාගෙන ආනා තුමිය අර යාච්ඤාව උච්චාරණය කරත්දී දේව දූත කණ්ඩායමක් සුර ගී ගායනය කෙරුවා. ඒ දේව දූත කණ්ඩායමට නායකත්වය දුන්නේ, ඒ දේව දූත කණ්ඩායම ලීඩ් කෙරුවෙ කව්ද දන්නවද, ගාබ්‍රියෙල් අග්‍ර දේව දූතයා විසින්. ක්‍රිස්තුස් වහන්සේ විසින්ම තමන් වහන්සේ මෙලොවට පැමිණීමට තෝරාගත් මාතාව, මෙන්න ලෝකයට දැන් බිහි වෙලා ඉන්නවා, මවු කුස පිළිසිඳ ගන්නටත් පෙර තෝරාගනු ලැබූ ආත්මය, දැන් මෙන්න මිනිස් ශරීරයක් ඇතිව මෙලොව ආලෝකය දකින අවස්ථාව ස්වර්ගය ද සතුටින් ඉපිලී ගියා. ඉතින් මරිය තුමී වෙනුවෙන්, මරිය තුමියගේ මව, එනම් ක්‍රිස්තුස් වහන්සේගේ ආච්චි අම්මා, ආනා තුමිය, යාච්ඤා කරත්දී, කිරිකැටි දැරිවිය තමන් වහන්සේට ම ඔප්පු කරත්දී, ක්‍රිස්තුස් වහන්සේගේ නියමය පරිදි ගාබ්‍රියෙල් අග්‍ර දේව දූතයාගේ මූලිකත්වයෙන් ප්‍රශංසා ගී රැව් පිලිරැව් දුන්නා. ආනා තුමිය කොහොමද මේක දැනගත්තෙ? පුදුමය කියන්නෙ මේ ගී ගායනය ආනා තුමියට ද ඇසුනා, ඒ නිසා එතුමිය දැන ගත්තා, ‛‛ආ මේ දේව දූත කණ්ඩායමේ සුර ගී ගායනයයි මට මේ කණ්කළු හඬින් මේ දැන් ඇහෙන්නේ.’’ ආනා තුමිය සිතුවා, එය ද දෙවියන්ට ප්‍රශංසා කිරීමේ ගී ගායනයක් වුනා.

මේ සියල්ලක් මම මරිය තුමියගෙන් දැන ගත්තා, මරිය තුමී ඇයගේ මව, ආනා තුමියගෙන් දැන ගත්තා, ඔයගොල්ලෝ අද දවසේ ඒ පිළිබඳව මගෙන් අසා දැන ගත්තා. මරිය තුමීගේ උත්පත්තියෙහි ප්‍රධානතම වටිනාකම රැඳි තියෙන්නේ ඒ උත්පත්තියේ ශ්‍රෙෂ්ඨත්වය රැඳී තියෙන්නේ, ඒ උපත සිදු වූ දිනයවත් වේලාවත් මත නොවෙයි. ඇත්තෙන්ම එතුමියගේ උපත සිදු වුනේ අසවල් මාසේ, අසවල් දිනයේදී යි කියලා කියන්ඩ මේ ලෝකේ කාටවත් බැහැ. ඒ ගැන කිසිදු සාක්ෂියක් ශුද්ධ ලියවිල්ලේවත්, වෙනත් ලියවිල්ලකවත් නැහැ. වැඩි දෙයක් උවමනා නැහැ, අඩුතරමින් ක්‍රිස්තුස් වහන්සේ ඉපදුන අවුරුද්දවත්, මාසයවත්, දිනයවත්, නිශ්චිතව ශුද්ධ වූ ලියවිල්ලේවත් සඳහන් වෙන්නේ නැහැ. කොහොම වුනත් අපි දන්නවා වඩා වැදගත් වෙන්නේ සිදුවූ උපතයි. එය සිදුවූ දිනය නොවෙයි, එදා සිදුවූ උපතයි. උපත ලැබූ දැරිය හෝ දරුවායි. ඒ උපත ලැබූ ඒ සුන්දර දියණියයි. ඒ අප දයාබර නිර්මල කන්‍ය මරිය වහන්සේයි.

අද අපේ ජීවිත වල රැකවරණය වෙලා තියෙන්නේ, අපේ ජීවිතවල බලාපොරොත්තුව වෙලා තියෙන්නේ, අපගේ ජිවිත ගමනේ අද ජීවමාන ගුරුතුමිය බවට පත්වෙලා තියෙන්නේ, ඒ ආකාරයෙන් උපත ලැබූ මරිය තුමියයි. අපි එතුමියට දක්වන ගෞරවයද ආදරයද වන්නේ, එතුමිය කලින් කල අපට ප්‍රකාශ කරන පණිවිඩ ඔස්සේ ජීවත් වීමයි. එතුමියගේ පණිවිඩවල මූලික පදනම ජේසු තුමන් දෙසූ ධර්මය අනුව ජීවත්වන්න කියලා අපෙන් කරන ඉල්ලීමයි. ජේසු තුමන් අපට කියන කොයි දෙයක් වුවද කරන්ඩ, අන්න එතකොට ජලය මිදි යුෂ බවට පත්වීමේ ප්‍රාතිහාර්‍යයට වඩා වැඩි දෙයක් අපට ලබාගන්නට පුළුවනි. ඒ නිසා අපි ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය සොයන්නට ඕනා. දේව රාජ්‍ය සොයා ගන්නට නම්, උන්වහන්සේ දෙසූ ධර්මය දැනගන්නට ඕනා. අද ලෝකයට අපොස්තුළු තුමෙකුව උන්වහන්සේලා විසින් එවලා තියෙන්නේ ඒ ධර්මයේ හිස් තැන් පුරවන්නයි. ඒ ධර්මයේ ලියවිලා තිබෙන තැන්වල අඩුපාඩුකම් නිවැරදි කරන්නටයි. ඔබට ධර්ම මාර්ගය පෙන්වා දෙන්නටයි. ඔබේ යුතුකම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි. මගේ වගකීම ඒ ධර්ම මාර්ගය ඔබට පෙන්වා දීමයි. මා මේ ලෝකයට පැමිණියේ නෑ, මාව මේ ලෝකයට එව්වා. ක්‍රිස්තුස් වහන්සේ විසින් මාව එව්වේ ඒ සඳහායි. ඒ කාර්‍යය ඉටුකිරීම මගේ පරම යුතුකමද ණය යුක්තිය ද බවට පත්වී තියෙනවා. ඇත්තෙන්ම මේ ලෝකයට මාගේ පැමිණීම ක්‍රිස්තුස් වහන්සේගේ ඉල්ලීමක් පිට, උන්වහන්සේගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම පිණිස පැමිණි දේව සැලැස්මක ගමනක්. ඒ ගමනේදී, මෙහිදීම මරිය තුමියව ද සමුවී එතුමියගෙන් ද තොරතුරු දැනගෙන ඔයගොල්ලන්ට කියන්නට ලැබුණුඑක පිළිබඳව ඔයගොල්ලො සන්තෝෂ වෙන්නට ඕනා.

සියලු පුවත්

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.