ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු 4 දී, උන්වහන්සේගේ මව “පුතේ මේ තමයි දේව මෑණියො” කියා පෙන්වනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව පිළිබඳව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ම සැදැහැවතුන්ට විස්තර කරනු ලැබූ අවස්ථාවක්

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ ජීවමානව ම පෙනී සිටි ඒ ස්වර්ගීය උත්තමාවිය මෙතෙක් ගෙවීගිය පනස් වසරක් තුල 23 වතාවක් දර්ශණය වී තිබෙනවා. මරිය මාතාවන්ගේ ප්‍රථම දර්ශණයට අඩසිය වසරක් සපිරුණ මේ ස්වර්ණ ජුබිලි වර්ෂය තුල දී ඒ උත්තමාවිය නැවතත් අප මධ්‍යයේ දර්ශණය වනු ඇතැයි බොහෝ සැදැහැවතුන් අපේක්ෂාවෙන් පසුවෙනවා.

2023 සැප්තැම්බර් 16 වෙනි සෙනසුරාදා දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පවත්වනු ලැබූ දේශණයේ දී උන්වහන්සේට නිර්මල මරිය මාතාවන් ප්‍රථම වරට දර්ශණය වූ අවස්ථාව සම්බන්ධව විස්තර කරනු ලැබූ අතර, මෙහි පලවන්නේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ එම දේශණය යි.

 

මාගේ ප්‍රේමවන්ත පිංවත් දරුවෙනි,

දුර මග ගෙවාගෙන බොහෝ පැතුම්, ගැටළු දේව මෑණියන්ට ඔප්පු කිරීම සඳහා සුදුසුම ස්ථානය සොයාගෙන පැමිණි ඔබ සියලු දෙනාගේම ඒ උතුම් ප්‍රාර්ථනාවන් ඔබගේ විශ්වාසය පෙරදැරිකරගෙන ඉෂ්ඨ වේවායි මා ප්‍රථමයෙන් ප්‍රාර්ථනා කරනවා. මාගේ ප්‍රේමවන්ත දරුවෙනි, නිර්මල කන්‍ය මරිය වහන්සේ විසිතුන් වරක් පය ගැසු, එතුමිය දර්ශනය වු භූමියටයි ඔබ මේ පැමිණ සිටින්නේ. මම විශ්වාස කරනවා ඔබ ඒ බව විශ්වාස කරගෙනයි මේ මොහොතේ මා ඉදිරිපිට වාඩි වී සිටින්නේ කියලා. ඒ විශ්වාසය ඇතුවයි අද මා මේ මොහොතේ ඔබව අමතන්නේ. ඔබ මේ සිද්ධස්ථානේදී නිර්මල කන්‍ය මරිය වහන්සේ තුන් වරක් නොවෙයි, දහතුන් වරක් නොවෙයි, විසිතුන් වරක් දර්ශනය වූ බව විශ්වාසය ඇතුවයි මේ රැඳී සිටින්නේ කියන විශ්වාසය මගේ හිතේ තියාගෙනයි මම ඔබට කථා කරන්නේ. මොකද එවැනි විශ්වාසයකින් තොරවනම් ඔබ ඉන්නේ, මේ කියන්නට යන කිසිවක් ඔබට සුදුසු වෙන්නෙ නැහැ. එවැනි විශ්වාසයක් නැත්තම් එවැනි අයට හරියන්නේ වෙනත් ප්‍රකාශයක්, වෙනත් දේශනයක්.

ප්‍රේමවන්ත දරුවෙනි, 1975 පෙබ්‍රවාරි මාසයේ 5 වෙනිදා සවස නිර්මල කන්‍ය මරිය වහන්සේ පළමුවන වරට මා හට දර්ශනය වු අවස්ථාව, ඇත්තටම එතුමියව මට හමුවු අවස්ථාව, ජීවිතේ පළමු වරට එතුමිය හමු වු අවස්ථාව මට අද වගේ මතකයි. අමතක කරන්න බැහැ. කාටද අමතක කරන්න පුළුවන්. මේ වෙලාවෙ ඔබ මගෙන් අහන්නට පුළුවන් මෙහෙම දෙයක්. “පියාණෙනි, අපිට කියන්න ඔබවහන්සේට ඒ වෙලාවෙ මොනවද හිතුනෙ? නිර්මල කන්‍ය මරිය වහන්සේ ජීවමානව ඔබවහන්සේ ඉදිරියේ පෙනී සිටිද්දි, ඔබවහන්සේට මොනවද හිතුනෙ? කියන්ඩ කියන්ඩ පියාණෙනි.” ඉතින් එයට මං මෙහෙම පිළිතුරු දෙන්න කැමතියි. ඇත්තටම මට මොකුත් හිතුනෙ නෑ. මට හිතුනෙ එක දෙයයි. ‘ආ දේව මෑණියො’. මෙවැනි අවස්ථාවක් ඔබගේ ජීවිතයේ, නිකම් හිතලා බලන්ඩ ඔබට මෙවැනි අවස්ථාවක් ආවොත් මොනව හිතෙයිද? ඔය ටිකම තමයි හිතෙන්නේ. ‘ආ දේව මෑණියො’. එදා ඒ දර්ශනය, එතුමිය කථා කරපු දේවල් මම කිව්ව දේවල් මම අහගෙන හිටියා මිසක් කිසිවක් මම අහන්නට ගියේ නැහැ. ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි. කුමක්ද මේ? එදා එතුමිය කිව්ව දේවල් අහගෙන, බොහෝම කෙටි වගන්ති දෙකයි එදා කිව්වේ. නැවත එන බවක් තුන්වෙනි වාක්‍යය හැටියට කිව්වා. ඔබ මගෙන් අර පළමු ප්‍රශ්නය ඇහැව්වනම්, මෑණියන්ව දැක්ක ගමන් මොනවද හිතුනෙ කියලා එයට පිළිතුරු ඔච්චරයි. දැන් ඔබට තව ප්‍රශ්නයක් අහන්නට හිතට එන්නට ම ඕන. “ඉතින් පියාණනි, අපිට කියන්න ඊට පස්සෙ මොනවද ඔබවහන්සේට හිතුනෙ, ඔබවහන්සේට මොනවද හිතුනෙ එතුමිය ඉවත් වෙලා ගියාට පස්සෙ? අන්න එතන තමයි නියම පිළිතුර තියෙන්නෙ. ඇත්තටම මට හිතුනෙ ඊට අවුරුදු ගණනාවකට කලින් ප්‍රතිමාවක් පෙන්වලා මගේ අම්මා මට කිව්ව වාක්‍යයක්. “පුතේ මේ තමයි දේව මෑණියො” ඒ කතාව කෙටියෙන් මෙහෙමයි. මට වයස අවුරුදු 4 දි, මගේ මව දේව මෑණියන්ගේ ප්‍රතිමාවක් පෙන්නලා මට කිව්වා, “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. ඉතින් එදා ඒ වයස අවුරුදු 4 පුංචි කොල්ලා, මම හිතුවා මේ ප්‍රතිමාව දේව මෑණියො කියලා. දේව මෑණියො කියන්නෙ කවුද? නැත්තම් මොකක්ද කියලා මට හැඟීමක් දැනීමක් තිබුනෙ නෑ. පෑනක් පෙන්නලා පුතේ මේක තමයි පෑන කිව්වා වගේ තමයි ප්‍රතිමාව පෙන්නලා මේ තමයි දේව මෑණියො කියලා කිව්ව කතාව. එදා 1975 පෙබ්‍රවාරි 5 වෙනිදා සවස පළමුවන දර්ශනයෙන් පස්සෙ බොහෝම කෙටි වේලාවකින්, මම කල්පනා කරද්දි මට ඔළුවට ආව පළවෙනි සිද්ධිය මගේ මව දේව මෑණියන්ගෙ ප්‍රතිමාවක් පෙන්නලා මට කිව්වා, “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. නමුත් අවුරුදු 4 කොල්ලා ඊට පස්සේ ටික ටික වයසින් වැඩෙද්දි දේව මෑණියො කියන්නෙ ප්‍රතිමාවක් නොවන බව දැනගෙන තිබුනා. 1975 පෙබ්‍රවාරි 5 වෙනිදා ඔය පළමු දේව මෑණියන්ගෙ දර්ශනය සිද්ධ වෙද්දි මම දැනගෙන තිබුනා දේව මෑණියො කියන්නෙ ප්‍රතිමාවක් නොවන බවත්, එතුමිය ස්වර්ගයේ ජීවමානව ආත්ම ශරීර පිටින් වැඩ සිටින බවත්, විවිධ ස්ථාන වල මරිය තුමී යම් යම් පුද්ගලයන්ට දර්ශනය වෙලා තියෙන බවත් මම දැනගෙන තිබුනා. නමුත් ඒ දර්ශනය වීම යම් දවසක මට ද උදාවෙයි කියලා මම හිතුවෙ නෑ. කොහොමත්ම හිතුවෙ නෑ. මෙය සිද්ධ වුනේ මම බොහොම ලාබාල වයසෙදි. යම් දවසක මරණින් පස්සෙ එතුමිය දැක ගන්නට ඕන කියන අදහසක්වත්, එහෙම දෙයක්වත් ඒ කාලෙ තිබුනෙ නෑ. ඇත්තටම මම දැනගෙන තිබුනෙ අපිට පිහිටක් ඕන වෙනකොට කියන්නට ඕනා කියන්න හොඳම කෙනා තමයි කියලා මරිය තුමී. දැන් ඔයගොල්ලොත් සමහර විට ඔහොම නේද මරිය තුමී ගැන හිතන්නේ. තමුන්ට යම් කරදරයක්, යම්කිසි පීඩාවක්, යම්කිසි උපද්‍රවයක් උනහම අපිට කියන්ඩ ඉන්න හොඳම කෙනා තමයි මරිය තුමී. එතනින් එහා ඔයගොල්ලො බලන්ඩ හිතලා බලන්ඩ ඔයගොල්ලන්ගෙ අදහසක් තිබුනද කියලා, අපි හොඳට ජීවත් වෙන්න ඕනා, අපි යම් දවසක ස්වර්ගය දිනා ගන්නට ඕන, එහිදි අපිත් මේ මරිය තුමියව දකින්නට ඕන කියන අදහසක් තිබුනෙ නෑ නේද?. මට තිබුනෙත් නෑ. ඒකට හේතුව මරිය තුමීව අපිට හඳුන්වලා දුන්නු අයගෙ ඉගැන්වීම. බොහෝ දෙනෙක්ගේ කල්පනාව මරිය තුමී සම්බන්ධව ඒ විදිහයි. නමුත් මරිය තුමිය සම්බන්ධව ඊට එහා ගිය පැත්තක් තියෙනවා. අපි අන්න ඒක දැනගන්නට ඕන. ඇත්තටම මරිය තුමියව මේ විදිහට දැකගන්නට, එතුමියත් එක්ක කථා කරන්නට, එතුමියත් එක්ක හිනා වෙන්නට, ජේසුස් ස්වාමින් වහන්සේගේ බාල කාලය ගැන එතුමියගෙන් අහලා දැනගන්නට සිද්ධ වෙන තරම් එදා ඒ සිදුවීම විසිතුන් වාරයක් දක්වා දිවයයි කියලා එදානම් මම හිතුවෙ නෑ. නැවත වරක් පැමිණෙන බව ප්‍රකාශ කළාට එය විසිතුන් වරක් දිව යනවා කියලා මම හිතුවෙ නෑ. තවමත් මේ දර්ශන මාලාව ඉවර නැද්ද අපි දන්නෙත් නෑ. මොකද මම තවම ජීවතුන් අතර ඉන්නවා.

ඉතින් ප්‍රේමවන්ත දරුවෙනි, මරිය තුමියගේ ඒ පණිවිඩත් සමග කලින් කල විටින් විට සිදුවෙච්ච දේවලුත් සමග ජනතාව මෙම සිද්ධස්ථානය වටා ඇවිල්ලා, ජනතාව මෙම සිද්ධස්ථානය තුල රොක් වෙලා විවිධ පිහිට වරප්‍රසාද ලබා ගනිත් දී, එතුමිය ජනතාව වෙත, ඒ කියන්නෙ ඔයගොල්ලො වෙත දක්වපු අනුග්‍රහය පිලිබඳව ඇත්තෙන්ම මම මවිත වුනා. මරිය තුමිය දෙවියන් වහන්සේ ඉදිරියේ අප වෙනුවෙන් සිදු කරන ඒ මධ්‍යස්ථකාරී බලය පිලිබඳව, ඇත්තෙන්ම ඔබලා ලබා ගන්නාවු, ඒ මධ්‍යස්ථවීමෙන් ලබා ගන්නාවු පිහිට ගැන හිතද්දි මම මවිත වෙනවා. නමුත් එතුමියගේ ඒ මධ්‍යස්ථකාරී බලය අපට පුදුමාකාර විදිහට තේරුම් ගත හැකි සිද්ධියක් ලූක් තුමාගේ සුවිශේෂයේ පළමුවන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. ඔබට මතකයි නේද මාස 6 ක ගැබිණියකව සිටි එළිසබෙත් තුමියව දකින්නට මරිය තුමී ගියා. දන්නවා නේද ඒ සිද්ධිය. මතකද? අත උස්සන්ඩ බලන්ඩ. හොඳයි. සමහර අය දන්නෙ නෑ වගේ. හොඳයි, අද ගෙදර ගිහිල්ලා කියවලා බලන්න, ශුද්ධවු බයිබලයේ ලූකස් තුමාගේ සුවිශේෂේ පළමුවන පරිච්ඡේදය. මං මේ කියන්ඩ යන වගන්තිය 41 වෙනි වගන්තිය. එහි සඳහන් වෙනවා, “එළිසබෙත් මරිය තුමියගේ ආචාර බස් ඇසු සැනින් ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට විය.” කොහොමද වැඩේ. එතකොට මරිය තුමියගේ කුසයේ ඉන්නෙ කවුද? දේව පුත්‍රයා. මනුෂ්‍ය පුත්‍රයා හැටියට එතුමියගේ කුසයේ. ඇයගේ ඥාතිවු එළිසබෙත්ගෙ කුසයේ මාස 6 ක්, සයමස් ගැබිණියක්, පණිවිඩය දුන්නේ ගාබි්‍රයෙල් දේව දූතයා, ස්නාවක ජුවාම් තුමා. කලලයට මාස 6 යි. ගාබි්‍රයෙල් දේව දූතයාගෙන් දැන ගත්තු පණිවිඩය ඔස්සේ තමයි මරිය තුමී එතුමියගේ ඥාති වන එළිසබෙත් තුමියව දැක ගන්නට ගියේ. මරිය තුමිය ගිය ගමන්ම එළිසබෙත්ට ආචාර කෙරුවයි කියලා තියෙනවා. ඊළඟට කියනවා, “එළිසබෙත්, මරිය තුමියගේ ආචාර බස් ඇසු සැනින් ඇගේ කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලෙන්නට විය” කියලා. බලන්න මරිය තුමියගේ හඬ` මරිය තුමියගේ හඬ, ඔව් මේ උඩින් ඉන්න මරිය තුමියගේ හඬ කොච්චර බලගතුද? එළිසබෙත් තුමියගේ කුසේ හිටපු දරුවා ප්‍රීතියෙන් දඟලන්නට පටන් ගත්තා. ඔව් ප්‍රේමවන්ත දරුවෙනි, එදා ඉඳන්ම මරිය තුමියගේ හඬ, අපිට අපගේ සියලු උවදුරු වලදී, අපගේ සියලු අවශ්‍යතා වලදී, එතුමියගේ හඬ තමයි අපගේ හදවත් ප්‍රීතියෙන් ඉපිලී යන්නේ. එතුමියගේ හඬ විසිතුන් වරක් ශ්‍රවණය වෙච්ච භූමියේ අපි මේ ඉන්නේ. ඒ නිසයි ඔබගේ සියලු උවදුරු වලදි විශ්වාසයෙන් ඉල්ලනකොට ඔබට සැනසීම දීලා ඔබට ප්‍රීතියෙන් ඉපිලෙන්නට සලස්වන්නේ. මේක තමයි කතාව. අදටත් ඔබේ හඬ, ඔබේ අඳෝනාව, මෙතෙන්ට ඇවිල්ලා මරිය තුමීට නගද්දි, ඔබගේ හඬින්, මරිය තුමියගේ හදවතත් දුකින් වැලපිලා ඔයගොල්ලන්ට පිහිට වරප්‍රසාද ලබා දෙනවා. අන්න ඒ ප්‍රාතිහාර්්‍යය තමයි සෑම සෙනසුරාදාවකම සවස මේ යාච්ඤාව තුලින් සිද්ධ වෙලා, ඒ යාච්ඤාවට ජනතාව අතරින්ම නමක් පටබැඳුනේ ‘හාස්කම් යාච්ඤාව’ කියලා.

ඉතින් අවසානකොට මේ ටිකත් කියන්නට ඕනා. අර මං කිව්වා නේද මගේ මව මට ප්‍රතිමාව පෙන්නලා කිව්වා කියලා “පුතේ මේ තමයි දේව මෑණියො” කියලා. ඒ ප්‍රතිමාව තවමත් මං ළඟ තියෙනවා. තවමත් මං ළඟ තියෙනවා. ඉතින් දැන් ඔයගොල්ලන්ට හිතෙන්න ඕන මගෙන් අහන්න තව ප්‍රශ්නයක්. පියාණනි, අපිට කියන්න ඒ ප්‍රතිමාවෙ තියෙන මුහුණයි ජීවමානව ඔබවහන්සේ දැක්ක මරිය තුමියගෙ මුහුණයි එක වගේ ද, නැත්තම් දෙකක් ද? ටිකක් අමාරුවෙ වැටෙන ප්‍රශ්නයක්. ඇත්තටම ඒ ප්‍රතිමාව මගේ පියා හරහා තමයි ගෙනල්ලා තිබුනෙ. මගෙ පියා බෞද්ධ. ඒ පියා තමයි ඒ ප්‍රතිමාව තෝරගෙන තිබුනෙ. ඒක දිග කතාවක්. ඒ දිග කතාව දැනට තුන් වරක් ම මම කියලා තියෙනවා. ඒ ප්‍රතිමාවෙ තිබෙන දේව මෑණියන්ගේ රූපය ඇත්තටම නිර්මාණය කරපු ශිල්පියා, ඒ කියන්නෙ දැන් අවුරුදු කීයකට ඉස්සෙල්ලා වෙන්න ඕනද? අවුරුදු 60 ගාණකට ඉස්සෙල්ලා. දැන් තව මාස කීපෙකින් මට අවුරුදු 67 යි. මම නම් එහෙම හිතන්නෙ නෑ. ඉතින් ඒ පැරණි ප්‍රතිමාවෙ, ඇත්තෙන්ම ඒ වගේ ප්‍රතිමාවක්, ඒ වගේ මුහුණක් දැන් කාලෙ ශිල්පියෙක් හදයි ද කියලා මට හිතන්නත් අමාරුයි. නමුත් ඒ ප්‍රතිමාවෙ තිබුන මුහුණට, ජීවමාන මරිය තුමියගෙ මුහුණ සමාන නෑ, මොකක්ද අසමානතාවය? ඒ ප්‍රතිමාවෙන් පෙන්නන මරිය තුමියට වඩා ඇත්තටම එතුමිය හරි ශෝභාසම්පන්නයි. ඒ නිසා එතුමිය තරුණ පාටයි. මට ප්‍රතිමා නෙලීමේ ශිල්පය තිබුනනම්, මම හදනවා මම දැක්ක මරිය තුමියගේ ප්‍රතිමාව. අවාසනාව කියන්නේ මෙතෙක් කාලයක් මරිය තුමිය ලෝකේ විවිධ තැන් වල දර්ශනය වෙලා තියෙනවා. ලූර්දුවේ වේවා, පාතිමාවේ වේවා. විවිධ ස්ථාන වල මරිය තුමිය දර්ශනය වෙලා තියෙනවා. මරිය තුමිය දැක ගත්තු කිසිම කෙනෙකුට මේ හැකියාව තිබුනෙ නෑනෙ. මේ ප්‍රතිමා නෙලීමේ මේ ශිල්පය පිලිබඳ දැනීමක් තිබුනෙ නෑ. එහෙම තිබුනනම් ඒගොල්ලො ඒ වැඩේ කරනවා. මට තිබුනනම් මමත් ඒ වැඩේ කරනවා. ඉතින් සිද්ධ වෙන්නේ ප්‍රතිමා නෙලීමේ හැකියාව ඇති ශිල්පියෙක් තෝරාගෙන, ඒ ශිල්පියාට කියලා අපිට ඕන විදිහට මේ ප්‍රතිමාව මට උවමනා පිලිවෙලට ප්‍රතිමාව නිර්මාණය කිරීම. කවුරුත් කළේ එහෙමයි. මාත් කළේ එහෙමයි. ඉතින් එය බොහෝ දුරට සමානයි කියලා කියන්නත් බෑ. කොහොමත් ඉතින් හැකිතාක් උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහයට මරිය තුමිය ඉහලින්ම අපිට ආශිර්වාද කරලා තියෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රතිමාව තුලින් එතුමිය ජීවමාන සලකුණු විහිදන්නේ. මෙහි ප්‍රධාන ප්‍රතිමාව දර්ශන දේව මන්දීරය තුල ස්ථාපිත කරලා තියෙනවා. ඒ ප්‍රතිමාවෙන් විටින් විට පිච්ච මල් සුවඳ විහිදෙන්නෙත් ඒ උත්සාහයට එතුමිය දක්වලා තියෙන ආශිර්වාදයයි. ඒ ප්‍රතිමා බොහෝ විට මරිය තුමියගේ ජීවමාන ස්වරූපයට බොහෝ සෙයින් සමානව සාදන්නට ලොකු උත්සාහයක් දරල තියෙනවා.

ඉතින් ප්‍රේමවන්ත දරුවෙනි, ඔබේ විශ්වාසය, ඔබේ බලාපොරොත්තුව මරිය තුමිය කෙරෙහි රඳවලා මේ සිද්ධස්ථානේදී කොහොමහරි ඔබේ යහපත් අවශ්‍යතාවය මරිය තුමියගෙන් දිනාගන්ඩ. ඒ සඳහා සතිපතා උත්සාහ කරන්න. කොතනකදි හෝ මරිය තුමිය ඔබව ස්පර්ශ කරනවා නියතයි.

සියලු පුවත්

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

අපොස්තුළුතුමෙක් යනු නිදහස් කෙනෙක් කිසිදු කණ්ඩායමකට, කල්ලියකට හෝ කිසිදු සභාවකට අයිති පුද්ගලයෙක් නොවේ – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩිව ප්‍රකාශ කරයි

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.