අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

‛‛යම් නිවසක සැමියා සහ බිරිඳ, එහෙමත් නැත්තම් අම්මා සහ තාත්තා අතර සුහද බව, යහපත් බව, ධර්මිෂ්ඨ බව අර්ථාන්විත වෙනකොට තමයි යහපත්, ගුණවත් සහ සමාජයට බරක් නැති දරුවන් නිර්මාණය වෙන්නෙ. එහෙම නැතුව අම්මා තාත්තා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් නැත්නම්, දරුවන්ට ආදර්ශමත් සම්බන්ධතාවයක් නැත්නම්, ඒ අයගේ ජීවිත වල සාරවත් ගුණාංග නැත්නම්, ඒ අයගේ දරුවන් කවුරු දිහා බලාගෙන ද හැදෙන්නෙ? එහෙම නේද? අම්මා තාත්තා දෙන්නා දිහා බලාගෙන හැදෙන්ඩ දෙයක් නැත්නම්, ඒ අයගෙ ජීවිත වලින් ගත හැකි ආදර්ශයක් නැත්නම්, දැකගන්ඩ ගුණවත්බවක් නැත්නම් ළමයින්ට මොකද වෙන්නෙ? ළමයි අතරමං වෙනවා. අද සමාජයෙන් යහපත් ගුණාංග දරුවන්ගෙ ජීවිත වලට එකතු වෙයි කියලා අපිට සැනසෙන්ඩ පුළුවන්ද? සෑහීමකට පත් වෙන්ඩ පුළුවන්ද? සමාජ මාධ්‍ය හරහා දරුවන් විනය ගරුක වෙයි කියලා දෑස් වසාගෙන ඉන්න පුළුවන්ද? අද පාසලෙන්වත් දරුවන් හැදෙයි කියලා විශ්වාසයක් තියාගන්ඩ පුළුවන්ද? ඒ ටික කරගන්න පුළුවන් වෙන්නෙ ආදර්ශමත් ගුණාංග සහිත අම්මෙක් තාත්තෙක් ඉන්න ගෙදරකින් පමණයි. අම්මා තාත්තා තමයි දරුවන්ට ඉන්න ශ්‍රේෂ්ඨතම ගුරුවරුන් දෙදෙනා. එවැනි ගෙදරකින් දරුවන්ට ලැබෙන අධ්‍යාපනය මුළු සමාජයම සුවඳවත් කරනවා. ඉතින් වෙනේරියස් සහ සෙල්වින් ප්‍රිය දරුවෙනි වසර 30 ක් පුරාවටම ඔයගොල්ලන්ගෙ විවාහ ජීවිතේ තිබුන ඒ යහපත් ගුණවත් බව මෙවැනි සාරවත් දරුවන් තුන්දෙනෙක් මේ ලෝකයට ලබා දෙන්නට හේතු වුනා. අවුරුදු 30 කට පෙර ඔබ දෙදෙනාගේ විවාහ බන්ධනය ආශිර්වාද කලේ මා විසිනුයි. එදා ඔයගොල්ලො දෙන්නා අතිනත් ගන්වලා ආශිර්වාද කරලා මා දුන්න ප්‍රධානතම අවවාදය මතකද? දෙදෙනාම ගුණවත් දෙදෙනෙක් වෙන්නට කියල මම කිව්වා. එක්කෙනෙක් ගුණවත් වෙලා මදි, දෙදෙනාම ධර්මිෂ්ඨ වෙන්නට කිව්වා. එක්කෙනෙක් ධර්මිෂ්ඨ වෙලා අනික් කෙනා අධර්මිෂ්ඨ වුනොත්, එතන යහපත් පැවැත්මක් ඇති වෙන්නෙ නැහැ. අවුරුදු 30 කට කලින් ඔබ දෙපලටම මම කිව්වා, එක්කෙනෙක් සාන්තුවරයෙක් වෙලා අනික් එක්කෙනා යක්‍ෂණියක් වුනොත්, නැත්නම් එක්කෙනෙක් සාන්තුවරියක් වෙලා අනික් එක්කෙනා යක්‍ෂයෙක් වුනොත් ඒ විවාහ ජීවිතයට ඉදිරි ගමනක් නැහැ කියලා එදා මම කිව්වා. ඔබ දෙදෙනාගේ විවාහ ජීවිතයේ විවාහ ආශිර්වාද ගන්වමින් මා කල දේශනයට, ඊට පස්සෙ විටින් විට ඔබ දෙපලගේ විවාහ ජීවිතයේ සංවත්සරයන් සැමරුවා. අවුරුදු 20, 26, දැන් 30 මේ සියලු දේශනා පටිගත වෙලා තියෙනවා. මේ දේශනයත් පටිගත වෙනවා. ගිය සතියෙ ඒ දේශන කිහිපයටම මම සවන් දුන්නා, මම ඔයගොල්ලන්ට දීලා තියෙන අවවාද මොනවද කියලා. ඉතින් ඒවා මම අහපුවම මට තේරුනා එදා මං මුල් දේශනයේ දී කිව්ව විදිහට ඔබ දෙපල සාන්තුවරයකුයි සාන්තුවරියකුයි එකතු වුනා වගෙයි කියලා. එක්කෙනෙක්වත් යක්‍ෂයෙක්වත්, යක්‍ෂණියක්වත් වුනේ නැති නිසා තමයි අද අවුරුදු 30 ක් සමරන්නට මේ විදිහට ඔයගොල්ලන්ට එන්නට පුළුවන් වෙලා තිබෙන්නෙ.’’

2024 ජූනි මස 29 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත වදන් ප්‍රකාශකරනු ලැබුවේ, මීගමුවේ පදිංචි වෙනීරියස් ප්‍රනාන්දු සහ සෙල්වින් ප්‍රනාන්දු යුවලගේ විවාහ ජීවිතයේ තිස් වෙනි සංවත්සරය වෙනුවෙන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ දී පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තව දුරටත් සිය දේශණයේ දී මෙසේද ප්‍රකාශ කල සේක.

‛‛ඔබ දෙදෙනා වසර ගණනාවක් විවාහ සංවත්සරය මාත් සමග මෙලෙසම පවත්වලා අද 30 වෙනි සංවත්සරය මෙලෙස පවත්වන්නට හැකි වූයේ ඔබලා දෙදෙනා ඒ සියලු අවවාදයන් පිලිපැදලා විවාහ ජීවිතය ආලෝකමත් කර ගත් නිසයි. ඉතින් වෙනේරියස් සහ සෙල්වින් ප්‍රිය දරුවෙනි ඔබ දෙදෙනා අතර තිබු ඒ හික්මීම නිසා ඔබ දෙපලගෙන් මේ ලෝකයට ලැබුන දරුවන්ගේ ජීවිතත් ආලෝකමත් වෙලා තිබෙනවා. මොකද ඔබ දෙදෙනා දිහා බලලා හැදෙන්ඩ බොහෝ දේවල් දරුවන්ට තිබුනා. එහෙම නේද? ඔබ දෙදෙනා දිහා බලලා හැදෙන්ඩ දේවල් දරුවන්ට තිබුනා. අම්මා තාත්තා කියන්නෙ ගෙදරක ඉරයි හඳයි වගෙ. ප්‍රධාන ආදර්ශ දෙක අම්මයි තාත්තයි. නමුත් අම්මයි තාත්තයි නයයි පොළඟයි වගේනම්, මහා විස දෙකක් වගේනම්, මේ විස දෙක එකතු වෙලා හැදෙන උග්‍ර විස කොහොම වෙයිද? මොකද එකිනෙකාගෙ ජීවිතයන්ට ගරු නොකරන දෙන්නෙක් ගෙදර අධිපතිකම දරද්දි දරුවන්ගෙ ජීවිත වලට මොකක් වෙයිද? වෙනේරියස් සහ සෙල්වින් ප්‍රිය දරුවෙනි, ඔබ දෙදෙනාගේ විවාහයට දැන් අවුරුදු 30ක් සම්පූර්ණව ඇතත් අවුරුදු 30 කට කලින් සිටම මම ඔයගොල්ලන්ව හඳුනනවා. ඔයගොල්ලො දෙදෙනාම මේ සිද්ධස්ථානය සමග සම්බන්ධ වෙලා හිටියා. සෑම දේව මෙහෙයකටම සහභාගි වුනා විතරක් නෙමෙයි, සිද්ධස්ථානයේ බාහිර කටයුතු සමගද සම්බන්ධව සිටියා. මේ වෙනකොට ඔබේ අනර්ඝ වස්තූන් වන ඔබ දෙපලගේ දරුවන්ද ඒ කටයුතු සඳහා නොමසුරුව සම්බන්ධ කරල තිබෙනවා. ඔයගොල්ලන්ගේ එකම පුතාව පවා සම්පූර්ණෙන්ම දේව සේවයට සම්බන්ධ කිරීමට තරම් නොමසුරුබවක් ඒ කියන්නෙ කිසිදු මසුරුකමක් නැති බවක් ඔයගොල්ලො දෙදෙනාටම තිබුනා. ඔයගොල්ලො දෙදෙනාම මසුරු වුනානම් ඒක කරන්න බැරුව යනවා. එක්කෙනෙක් මසුරු වෙලා අනික් එක්කෙනා පරිත්‍යාගිශීලි වූවානම් ඒත් ඒ ටික කරන්නට බැරුව යනවා. ඇතැම් අයගේ ජීවිත පැවතුම් දිහා බලද්දී අද සමාජයේ ජීවත් වන වැඩි දෙනෙක් හරිම මසුරුයි. තමන්ට අයිති දේවල් පොඩ්ඩක්වත් අනික් අයට දෙන්නට විතරක් නොවෙයි, තමන්ගෙ දේවල් චුට්ටක්වත් වෙනත් කෙනෙක් පරිහරණය කරනවා දකින්නවත් අකැමතියි. නමුත් ඔයගොල්ලො දෙදෙනාම තුල ඒ මසුරුකම දකින්නට තිබුනේම නැහැ. අපේ සිද්ධස්ථානයේ විවිධ අවශ්‍යතා සඳහා ඔබලා දෙදෙනාම කිසිම මසුරුකමක් නැතිව උපකාර කරපු ආකාරය හොඳටම දන්නේ උඩ ඉන්න දෙවියොත් මේ බිම ඉන්න මමත් විතරයි කියල කිව්වොත් ඒක නිවැරදි බව ඔයගොල්ලො පිලිගන්නවා ස්ථීරයි. ඒ බව ඔබේ දරුවන්ටත් දායාද වෙලා තියෙනවා. ඔයගොල්ලො දෙදෙනාගේ ඒ යහපත් ගුණාංගය, ඒ යහපත් ආදර්ශය දරුවන්ට පෙනිලා තියෙනවා, දරුවන්ට දැනිලා තියෙනවා. වෙනේරියස් සහ සෙල්වින් ප්‍රිය දරුවෙනි, ඔබ දෙදෙනා සතු ඒ නොමසුරුබව හෙවත් පිනක් කරගන්නට ලැබෙන අවස්ථාවේදි මසුරු නොවී සිටීමේ ගුණාංගය අද සමාජයේ බොහොම දෙනෙකුට නැති දෙයක්. සමහරුන්ටනම් ඇත්තේම නෑ.’’

වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මිය වසර තිහකට පෙර විවාහ ජීවිතයට ඇතුළු වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබූ විවාහ මංගල දිව්‍ය පූජාවේ දී උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගනිමිනුයි. වසර තිහක් ගතවන අවස්ථාවේ, පැරණි දර්ශණ දෙව්මැඳුර පැවති ස්ථානයේ ම ඉදිකර ඇති නව දර්ශණ දෙව් මැඳුර තුල දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෝතින් පුදනු ලැබූ තිස්වන විවාහ සංවත්සර දිව්‍ය පූජා මෙහෙයට, මෙම යුවල සහභාගි වූයේ සිය දරු තිදෙනා ද සමගිනුයි.

ඔවුන් සියළු දෙනා ද, මෙම දිව්‍ය පූජා මෙහෙයට සහභාගි වූ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවත් ජනතාව ද අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද පැවසූ සේක.

‛‛මේ වගේ දේශනාවක් අහගෙන ඉන්නකොට තමන් දිහායි බලන්නට ඕනා. දහම් දෙසුමක් කියන්නෙ, අපොස්තුළුතුමෙක්ගේ අනුශාසනාවක් කියන්නෙ, ඔබට ඔබ දෙසම බලාගන්නට අතට දෙන කණ්නාඩියක්. ඉතින් මේ කණ්නාඩිය එක එක්කෙනාට අල්ලන්නට එපා. අරගොල්ලො ගැන තමයි කිව්වෙ, ඒගොල්ලො ගැන කිව්ව ටිකනම් හරියටම කිව්වා, අරගොල්ලන්ටම තමයි දේශනාව ගැලපෙන්නෙ. එහෙම හිතන්න එපා. අනික් අයගෙ ඒවා වැඩක් නැහැ මෙතෙන්ට. බලන්ඩ තමන් දිහා. මේ කියන්නෙ, මේ ප්‍රශ්ණෙ, මේ කියන්නෙ අපේ ප්‍රශ්ණෙ. අපි දෙන්නම මේ ගති සහිතද, අපි දෙන්නම තද මසුරොද, තමන් ගැන කල්පනා කරන්න. වෙනීරියස් සහ සෙල්වින් යුවලට නෙමෙයි ඒ ටික කිව්වෙ, මේ රැස්වී සිටින සියලු දෙනාටම. ඔබ සියලු දෙනාටමත් එක්කයි මේ දේශනය පවත්වන්නේ. වෙනීරියස් සහ සෙල්වින් විවාහ ජීවිතයේ වසර තිහක් සමරණ මේ මොහොතේ මේ වගේ දේවල් ඇහෙනකොට, ඔයගොල්ලෝ දෙදෙනාගේ විවාහ බන්ධනය ආශිර්වාද කල මා විසින් ම අවුරුදු තිහකට පස්සෙ, ඔයගොල්ලෝ දෙදෙනාගේ ජීවිත දෙස අවුරුදු තිහක් බලාගෙන සිටපු මා විසින් ම මේ වගේ දේවල් කියත් දී, මේ වගේ මසුරුකම් ඔයගොල්ලන්ට නැත කියලා දැනෙනකොට කොච්චර සතුටක් දැනෙනවද නේද? අපි මෙහෙම අය නෙමෙයි, අපි දෙන්නා මසුරො නෙමෙයි කියලා කොච්චර සතුටක් දැනෙනවද? අපොස්තුළුතුමා කියන මේ මසුරු දුර්ගුණ අපි ලඟ නෑනෙ, අපි කොච්චර වාසනාවන්ත ද, අපි මෙහෙම අය නෙමෙයි නෙ, අපි මසුරො නෙමෙයි නෙ, කොච්චර සතුටක් දැනෙනවද? මා දෙසූ ධර්මය අසා ඒවා පිළිපැදීමේ ප්‍රයෝජනය අන්න ඒකයි. ඒ නිසාම විවාහයෙන් දශක තුනකට පස්සෙ, කෙටි කාලයක් නෙමෙයි, අවුරුදු තිහකට පස්සෙ, ඔබලා දෙදෙනාටම අද සතුටු වෙන්න පුළුවන්, ‛අපි කොච්චර කොලිටි ද කියලා’.

සිය විවාහ දිවියේ තිස් වෙනි සංවත්සරය සමරමින්, දිව්‍ය පූජා මෙහෙයේ දී වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මිය විසින් රන් ආලේපිත වටිනා පූජා පාත්‍රයක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට පූජා කරනු ලැබූ අතර එදින විවාහ සංවත්සර දිව්‍ය පූජාවේ දී උන්වහන්සේ පාවිච්චි කරනු ලැබුවේ එම පූජා පාත්‍රයයි.

විවාහ වූ යුවලකට පමණක් නොවෙයි, විවාහ වීමට සිටින අයට පවා ඉගෙන ගැනීමට බොහෝ කරුණු ඇතුලත්ව සිය දේශණය කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

‛‛අද සමාජය දිහා බලත් දී මේ ටිකත් කියන්නට ඕනා. යම් ගෙදරක අම්මා අසංවර නම්, ඒ ගෙදරට ඒක මහා සාපයක්. ඒක හරිම නරක තත්වයක්. ඒක නම් වලක්වා ගන්නටම ඕනා. දුවෙකුට වුනත්, තමන්ගෙ සීමා ලකුණු කරගන්නට උදව් කරන්නට ඕනා කවුද? අම්මා. අම්මා නැත්නම් දුවෙකුට කවුද යහපත් පැවැත්ම ගැන කියල දෙන්නෙ. මම මෙහෙම ඉඳලා, මේ වගේ වැඩ කරලා, මේ වගේ හැසිරිලා, මේ වගේ ගමන් ගිහිල්ලා අම්මගෙ මුහුණ බලන්නෙ කොහොමද? අම්මට මුහුණ දෙන්නෙ කොහොමද? අම්මගෙ මුහුණෙ දැලි ගාන්නට බැහැ. දුවෙකුට මෙහෙමයි හිතෙන්නට ඕනා. ඉතින් දුවෙකුට එහෙම හිතෙන්නටනම්, අම්මා ශීලාචාර, ගුණවත්, විනීත, ආදර්ශමත්, ධර්මය ඉදිරියේ ඇත්තටම හීලෑ වුන අම්මා කෙනෙක් වෙන්නට ඕනා. ධර්මය ඉදිරියේ ඇත්තටම හීලෑ වුන අම්මා කෙනෙක් වෙන්නට ඕනා. දුවෙකුට වැදගත්ම දේ අම්මාට මුහුණ දීම. අම්මාගේ සංවරකම ඉදිරියේ තමයි දුවෙක් වුනත් පුතෙක් වුනත් කොන්ද කෙලින් තියාගෙන ඉන්නෙ. යම් ගෙදරක අම්මා දුෂ්ශීලයි කියන්නෙ, කෙටියෙන් කියනවනම් යම් ගෙදරක අම්මා ‛වනචරයි’ කියන්නෙ, ‛සල්ලාලයි’ කියල කියන්නෙ, ප්‍රිය දරුවෙනි, ඒක මහා විනාශයක්. ඒ ගෙදර දරුවන්ට විතරක් නෙවෙයි, මුළු සමාජයට ම විනාශයක්. කිසිම අම්මෙක් කවදාක්වත් ඒ තත්වයට වැටෙන්නට එපා. අද විවාහ ජීවිතයේ තිස්වසර සමරණ සෙල්වින් අම්මා කෙනෙක් වශයෙන් දියණියන් දෙදෙනාටත්, එකම පුතාටත් ඔබ මහා ආදර්ශයක්. ධර්මය අසා ඇත්තටම හීලෑවුන කාන්තාවක්. එවැනි බිරිඳක් සමග වසර තිහක් ගතකල වෙනේරියස්ටත්, තාත්තා කෙනෙක් වශයෙන් කොච්චර සතුටක් ද? මගේ බිරිඳ ගැන සමාජය වැරැද්දක් කියන්නෙ නෑ, මගේ බිරිඳ ගැන සමාජය ඇනුම්පද කියන්නෙ නෑ, එහෙම කියලා ස්වාමි පුරුෂයෙක් හැටියට තමන්ගේ බිරිඳ ගැන ආඩම්බර වෙන්න පුළුවන්. ඇයි දරුවන්ට? දරුවන්ටත් තමන්ගෙ අම්මා ගැන ආඩම්බරයෙන් කතා කරන්නට පුළුවන්. සමාජයේ කවුරුවත් දරුවන්ට කියන්නෙ නෑ, ‛මේ ඔයගොල්ලන්ගෙ අම්මා……. අපි දන්නවා එයාගෙ හැටි’ එහෙම කියන්නෙ නැහැ. ආදර්ශමත් අම්මා කෙනෙක්. අම්මයි තාත්තයි දෙන්නාම ආදර්ශවත් දෙමාපියන් ලෙසටයි, අද දින දරුවන් තුන්දෙනාවම ලඟින් තියාගෙන, අවුරුදු තිහකට කලින් විවාහ බන්ධනය ආශිර්වාද කල මාවත් ඉදිරියේ තබාගෙන ජීවිතයේ දුර්ලභ අවස්ථාවක් සමරන්නෙ. නමුත් අද සමාජයේ සියළුම කාන්තාවන්ටයි මම මේ කථා කරන්නෙ දැන්. අද සමාජයේ සියලුම කාන්තාවන් පරෙස්සම් වෙන්න. ඔය එක එකා යූටියුබ්වල ෆේස්බුක්වල දාන කතා පිංතූර දැක්කහම හිතෙනවා, මුං මේ වගේ දේවල් දාලා ගෙදර ගිහිල්ලා තමන්ගෙ දුවගෙ මුහුණ බලන්නෙ කොහොමද කියල. මෙවැනි අය බලන්නෙ අනික් අයගෙ පවුල් ජීවිතත් අවුල් කරන්න. ඇයි තමන්ගෙ මුළු පවුල් ජීවිතයම ගිනි අරගෙන. එවැනි මෝඩ, මනස අවුල් වුන අයගෙ මෝඩ කතා, පිස්සු කතා අහලා, පුංචි රෙදි කෑල්ලකින් මසා ගත්ත ඇඳුම් මෝස්තර දැකලා, අපේ අම්මලා, අපේ කාන්තාවන් කවදාකවත් ඒවා ආදර්ශයට ගන්නට එපා. මොකද සියල්ල අවුල් කරලා, අනික් අයගෙ ජීවිත විනාශ කරලා, මොන දේ සිද්ධ වුනත්, උන්දලාට නම් ගණිකා වෘත්තියෙ හරි යෙදිල සල්ලි හොයාගන්න පුළුවන්. මොකද උන්දලා කොහොමත් කතා හදාගෙන ඉවරයි දැන්. සාමාන්‍ය ගැහැණියකට මොකද වෙන්නෙ. අවුල් කරගන්න එක නෙමේ අවුල, ඒ අවුල ඇතුලෙ එතනින් එහාට ජීවත්වෙන්නෙ කොහොමද? එතෙන්ට වැටෙන්නට එපා, දේව මෑණියන්ගෙ නාමයෙන් කියන්නෙ, එතෙන්ටනම් වැටෙන්න එපා.’’

1985 දෙසැම්බර් 21 වෙනිදා නිර්මල කන්‍ය මරිය මාතාවෝ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල දී 22 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී එතුමිය ප්‍රකාශ කරනු ලැබූ වදන් ද සිහිපත් කර දෙමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙසින් ද පවසනු ලැබුවා.

‛‛නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1985 දෙසැම්බර් 21 වෙනි දා, 22 වන වරට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, ඒ කියන්නෙ මේ සිද්ධස්ථානයේ දී, මම දැන් ඔබට කතා කරන තැනම, මෙතැනම, විශාල ජන පිරිසක් මැද, ජීවමානවම පෙනී සිටිමින්, කිව්ව දේ මතකද? එතුමිය මෙහෙම කිව්වා, ‛‛නූතන ස්ත්‍රීන් අශෝභන ලෙස පළඳින ඇඳුම් ගැන ස්වාමින් වහන්සේ කම්පා වී සිටියි. පිරිසිදුකමද, ශීලාචාරකමද විනාශ කරවන අන්දමින් ඔවුන් දිනෙන් දිනම තම විලාසිතා නවීකරණය කර ගනියි. අශෝභන විලාසිතා තුලින් ඔවුන්ද සාතන්ට ලෝකය තුල ඉඩ සලසා දෙයි. නොහොබිනා ඇඳුම් මගින්, නොහොබිනා පිළිවෙලට තම ශරීර ප්‍රදර්ශණය කිරීමට ස්ත්‍රීන් දක්වන උනන්දුව අප්පිරියාවකි.’’ කොහොමද මරිය තුමියගෙ කතාව. ඉතින් දැන් ඔබට කාවද මතක් වෙන්නෙ? නෑ නෑ කාටවත් ඇඟිල්ල දික්කරන්නට එපා. අම්මලා දූලා හොඳට කල්පනා කරන්න, එක එක්කෙනා කල්පනා කරන්න. අම්මා කල්පනා කරන්න ‛මම එහෙමද, මගේ දුව එහෙමද’ කියලා. දුව කල්පනා කරන්න ‛මම එහෙමද, අපේ අම්මා එහෙමද’ කියලා. දෙගොල්ලොම කල්පනා කරල බලන්න, ‛ඇත්තටම සාතන්ට මේ ලෝකය තුල ඉඩ සලසලාද, දේව මෑණියන්ට අපිව අප්පිරියා වෙලාද’ කියල. ඉතින් දෙවියන්ටත් අප්පිරියා වෙච්ච අයගෙ කුහක කතා කියවලා, ඒ වගේම තවත් අය මහ ලොකුවට උඩ පැනලා වර්ණනා කරනවා දැක්කට මතක තියාගන්න ඔය ඔක්කොම මානසික රෝගීන්, ඔළුව රාගයෙන් පිස්සු වැටිලා. අම්මලා දූලා පරෙස්සම් වෙන්න. දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා. දේව මෑණියන්වනම් ජීවිතයෙන් නැතිකර ගන්නට එපා.’’

සියලු පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

මේ ප්‍රතිමාව මට තේරුම් ගන්න අමාරුයි. මරිය තුමී ඇයි මේ පුංචි දැරියක් තුරුළු කරගෙන ඉන්නේ? කවුද මේ දැරිය?

මේ වෙලා තියෙන දේ නම් හරිම පුදුමයි – කටුනායක සිද්ධස්ථානයේ දී මරිය තුමී තරුණයෙකුට දුන්න දේ

පැතිරෙන පිච්ච මල් සුඝන්ධයේ තදබලකම කොතෙක් ද කියනවානම්, මෙම ස්ථානයේ රැඳී සිටීමටත් අපහසුයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවඳ අතරින් පවසයි

6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්‍රතිමාවෙන් සුවද ආවා, පුළුවන්නම් යන්න පල්ලියට මහ රෑ පිච්ච මල් සුවඳ දිගේ මහ රෑ දර්ශණ දෙව්මැඳුරට ඇතුළු වූ තරුණයාගේ කතාව

ලොව පළමු ශ්‍රී ලාංකික අපොස්තුළුතුමා සිය ධූරයේ වසර 49 ක් සපුරණු ලබයි

එදත් අදත් ලොවට පහළ වූ අපොස්තුලුවරුන් නම් වූ මහා ආධ්‍යාත්මික ගුරුවරුන් ධර්මය ඉගෙන ගත්තේ මිනිස් ගුරුවරුන්ගෙන් නොව ක්‍රිස්තුස් වහන්සේගෙන්මයි

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තකයන්ගේ පුදුම හෙළිදරව්ව

බොහෝ දෙමාපියන් තම දරුවන්ට දියයුතු දේ මෙන්ම නොදිය යුතු දේ ද දෙනවා – එහි අනිටු විපාකයන් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙමාපියන් අමතයි

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

මරණයෙන් කෙළවර වන දවසට පෙර උදාවන විවාහ සංවත්සරය සමරන්නට ලැබුනහොත්, එය සාර්ථක විවාහ දිවියක සුන්දරම සංවත්සරයයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ පවසති

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.