මෙහි ඡායාරූපයෙන් ඔබට දැකගත හැක්කේ, ජූලි 27 වෙනි සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල මා දණ ගසා ගෙන සිටි අවස්ථාවයි. මා මේ සිටින ස්ථානයේ සිට පිච්ච මල් සුවද විහිදෙන දෙව් මවු ප්‍රතිමාවට ඇත්තේ සුළු දුරක්. මා බලාගෙන සිටින්නේ ඒ අසිරිමත් ප්‍රතිමාව දෙසයි. මට මේ දැනෙන්නේ ප්‍රතිමාවෙන් හමනා පිච්ච මල් සුවදයි. (සුරේන් චතුරංග ප්‍රනාන්දු)
පිච්ච මල් සුවදින් නැහැවුනු මරිය මෑණියන්ගේ දස අට වන දර්ශනයේ 42 වන සැමරුම
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියන්නෙ ජේසුස් වහන්සේ දර්ශණය වෙලා අපෝස්තුළුතුමකු පත්කල සිද්ධස්ථානයක්. ඒ වගේම මරිය මෑණියන් 23 වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානයක්. මෙම දර්ශණ වාර විසි තුනෙන් දසඅට වන දර්ශණය තවත් සුවිශේෂී දර්ශණක් වුනා. එම සුවිශේෂිත්වය තමයි මරිය මෑණියන් එම දර්ශනයේ දී ජේසු බිළිදාණන්ව එතුමියගේ වම් හස්තයේ වඩවාගෙන එම දර්ශණය සිදුවීමයි. එම දසඅට වන දර්ශණය සිදුවුණේ 1977 වසරේ ජූලි මස 27 වන දිනයි. එම දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වූයේ 2019 ජූලි මස 27 වනදායි.
2019 ජූලි මස 27 වන දිනය, සෙනසුරාදා දවසක්. එම නිසා සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට බැතිමතුන් සහ වන්දනාකරුවන් රාශියක් පැමිණ සිටියා. ඒ සිරිත් පරිදි එදින සවස ද පැවැත්වුන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමටයි.
වෙනදා මෙන්ම එදින ද හාස්කම් යාච්ඤා වට පෙර දර්ශන ඉටිපහන් මරිය මාතාවන් පාමුල තබා ආශිර්වාද කිරීම සදහා දර්ශන දේව මන්දීරය තුලට රැගෙන යනු ලැබුවා. ටික වෙලාවකින් මා ඇතුළු සිද්ධස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් සියළු දෙනාටම හැකි ඉක්මනින් දර්ශණ දෙව්මැදුර ඇතුලට පැමිණෙන ලෙස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් විශේෂ දැනුම් දීමක් ලැබුණා. සියළුම නිලධාරීන් කළබලයට පත් වුනා. ආරක්ෂක නිලධාරීන් ද කළබලයට පත් වුනා.
දර්ශණ දේව මන්දිරය ඇතුලට යන තුරු මම දැනගෙන හිටියේ නැහැ, අපිව කැදවූයේ ඇයි කියලා. දර්ශන දේව මන්දීරය ඇතුලට ගියාම හරිම පුදුමාකාර දෙයක් සිදුවී තිබුණා.
මුළු දර්ශන දේව මන්දීරය පුරාම තද පිච්ච මල් සුවදක් පැතිරී තිබුනා. මරිය මාතාවන් ජේසු බිළිදුන් වඩවා ගෙන සිටින ප්‍රතිමාවෙන් තද පිච්ච මල් සුවදක් විහිදීමට පටන් ගෙන තිබුනා. ඒ සුවද විද ගැනීමේ භාග්‍ය මා ලැබුවා. සියළුම නිලධාරීන්ට ඒ වාසනාව ප්‍රථමයෙන් ම ලැබුණා. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ භාග්‍යය සියළු සැදැහැවතුන්ට ප්‍රථමයෙන් අපට ලබා දුන්නා.
මරිය මාතාවන් ගේ දස අට වන දර්ශනයට වසර 42 ක් සම්පුර්ණ වන දිනයේ, මරිය තුමිය ගේ ජීවන සුවද විද ගැනීමට මම වාසනාව ලැබුවා. එදා සිද්ධස්ථානය ට පැමිණි සියලු දෙනාටම හාස්කම් යාච්ඤාවෙන් පසු දර්ශන දේව මන්දීරය තුලට ඇතුළු වීමේ වාසනාව ලැබුණා. ඒ භාග්‍ය ලැබු පිරිස ඉතාමත් වාසනාවන්තයි. දර්ශන දේව මන්දිරය තුලට වී දේව මෑණියන් දිහා බලාගෙන, එතුමිය ජේසු බිළිදු වඩවා ගත් ප්‍රතිමාවෙන් විහිදෙන පිච්ච මල් සුවද විද ගැනීමට වැඩි කාලයක් මා දර්ශන දේව මන්දීරය තුලටම වී සිටියා.
මේ සුවද මම මීට පෙර කිහිපවතාවක්ම විද තිබුනත් මේ වතාවේ තරම් තද සුගන්ධයක් මීට පෙර කිසිම අවස්ථාවක විද තිබුනේ නැහැ. ඒ සුවද තාමත් මගේ නාස්පුඩු තුල රැදී ඇති බවක් මට දැනෙනවා. දර්ශන දේව මන්දිරය පුරාත් සිද්ධස්ථාන භූමිය පුරාත්, සිද්ධස්ථානයෙන් එලියටත් මේ සුවද විහිදී ගොස් තිබුනා. එදා සිද්ධස්ථානය වෙත පැමිණි සියලුම බැතිමතුන් සහ වන්දනාකරුවන්ටත් මේ සුවද විද ගැනීමේ භාග්‍යය හිමිවුණා.
මේ දර්ශන දේව මන්දිරය මරිය මාතාවන්ට භාර දී අගෝස්තු මස 11 වනදාට හරියටම වසරක් සම්පුර්ණ වෙනවා. වසරක් සම්පුර්ණ වීමට ආසන්න මොහොතේ ඔබ තුමිය ගේ 18 වන දර්ශනයට වසර 42 ක් සම්පූර්ණ වන මොහොතේ අප හට මේ ලබාදුන් උතුම් වරප්‍රසාදය ට ස්තූතියි කටුනායක මෑණියනි.