ඇය ශල්‍යාගාරයෙන් ආපසු හැරී ආවාය, මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා – වෛද්‍යවරු කියති

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් වාර්තාවන තවත් ප්‍රාතිහාර්‍යාත්මක පුවතක්

 

මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක සිටයි. දේව මෑණියන් විසිතුන් වතාවක් දර්ශනය වී ඇති මේ සිද්ධස්ථානයේ වැඩ වසන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන්, මැදිහත්කමින් මගේ ජීවිතයට ලැබී ඇති වරප්‍රසාද කියා නිම කල නොහැක. සෑම සෙනසුරාදාවකම හාස්කම් යාච්ඤාවට ජීවමාන සලකුණු පෙන්වන දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ සහභාගි වීමට මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ ගොඩක් භක්තියකින්. ඒත් මේ කතාව මම විතරක් නෙමේයි, මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන්ව පවා පුදුම කල සිද්ධියක්.

 

මගේ වැඩිමහල් සොහොයුරියගේ වයස අවුරුදු 36 කි. ඇය විවාහ වී සිටින්නේ බෞද්ධ පුද්ගලයකු සමග වන අතර, මේ වන විට ඇයට දරුවන් දෙදෙනෙකු සිටියි. 2017 අගෝස්තු මාසයේ ඇයගේ උගුරේ තරමක් රිදුම් දෙන තත්ත්වයක් ඇති වුනා. මේ තත්ත්වය ටිකෙන් ටික වැඩි වෙන්නට පටන් ගත්තා. ටික කාලයක් ගත වන විට උගුර අල්ලන්නවත් බැරි විදියට රිදෙන්න පටන් ගත්තා. පසුව ඇය වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීමට ගිය විට ඔහු පවසා තිබුනේ, මෙය උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසයි. ඒ පැවසු ලෙස ඇය උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු චැනල් කර මේ තත්ත්වය පෙන්වා තිබුනා. පසුව වෛද්‍යවරයා බෙහෙත් දී තිබුන අතර උගුරේ කැක්කුම අඩු වුනා. නමුත් ටික දවසක් යන විට ඇයගේ උගුර අල්ලන විට පොඩි ගෙඩියක් වැනි දෙයක් අහුවෙන්නට පටන් ගත්තා. මේ තත්ත්වය ගැන ටිකක් භය වූ ඇය, නැවතත් උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට මේ තත්ත්වය පෙන්වූ විට ඔහු පවසා තිබුනේ උගුරේ කුද්දැටියක් ඇති බවයි. නමුත් මේ ගෙඩිය අඩු නොවන නිසා රාගම, ලීසන්ස් රෝහලේ වෛද්‍යවරයෙකුට මේ තත්ත්වය පෙන්නුවා. ඔහු පවසා තිබුනේ මේ සඳහා ස්කෑන් එකක් කල යුතු බවයි. ඔහු පැවසූ පරිදි ඇය ස්කෑන් එකක් කරගෙන වෛද්‍යවරයාට පෙන්වූ විට වෛද්‍යවරයා පවසා තිබුනේ උගුරේ ගෙඩියක් ඇති බවත්, එය කපා ඉවත් කල යුතු බවත්ය. මේ සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදු වන බවත්ය. රාගම රෝහලේ මේ ශල්‍යකර්මය කරනවානම් එයට ටික කාලයක් ගත වන නිසා, මීගමුව මහ රෝහලෙන් මේ ශල්‍යකර්මය සිදු කර ගන්නා ලෙස මේ වෛද්‍යවරයා ඇයට උපදෙස් දී තිබුනා. ඒ නිසා ඇයව වෛද්‍යවරයා විසින් මේ කාර්‍යය සිදු කර ගැනීමට පහසු වන පරිදි වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ලිපියක් ලබා දී තිබුනා.

 

පසුව, දැනුම් දුන් පරිදි කොළඹ, නවලෝක රෝහලෙන් මේ වෛද්‍යවරයාව චැනල් කර තමන්ව යොමු කල ඒ ලිපිය මේ වෛද්‍යවරයාට පෙන්වූ පසු වෛද්‍යවරයා ඇයව පරීක්‍ෂා කර, ස්කෑන් රිපෝට් ටික අධීක්‍ෂණය කර, ඇයට පවසා තිබුනේ මීගමුව මහ රෝහලේ පවත්වන සායනයට පැමිණෙන ලෙසයි. දැනුම් දුන් ලෙස ඇය මීගමුව මහ රෝහලේ පැවැත්වෙන සායනයට ගිය පසු ඇයට දන්වා තිබුනේ 2018 ජනවාරි 15 වන දින මේ ගෙඩිය ඉවත් කිරීමට ශල්‍යකර්මය සිදු කරන බැවින් ඒ සඳහා එදින රෝහලට ඇතුලත් වන ලෙසයි. මගේ අක්කා වෘත්තියෙන් ගුරුවරියක්, මේ නිසාම ඇයට තිබු එකම බිය වූයේ මේ සැත්කම නිසා ඇයට ගුරු වෘත්තියේ යෙදීමට ගැටළුවක් මතු වේද යන්නයි. මන්ද ගුරු වෘත්තියේදී නිතරම කථා කිරීමට සිදු වන නිසයි.

 

සැත්කම කිරීමට තව මාසයක පමණ කාලයක් තිබුනා. මගේ හිතේ දැඩි විශ්වාසයක් තිබුනා අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මැදිහත්කමින් කටුනායක දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මේ ගැටළුව සඳහා පිහිටක් ලබා ගත හැකි බව. මොකද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් යනු මේ ලෝකය තුල වැඩ වසන බලවත්ම අධ්‍යාත්මීක නායකයාණන් වහන්සේ බව මම දන්නවා. පුරා දශකයකටත් වැඩි කාලයක් පුරා මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගි වන මා, මේ අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබා ගන්නා මා, උන්වහන්සේගේ දිව්‍යමය බලය හොඳට දන්නවා. මිනිස් අතකින් සිදු කල නොහැකි මහා ප්‍රාතිහාර්‍යයන් මගින් උන්වහන්සේගේ මැදිහත්කම පතා පැමිණෙන බැතිමතුන්ට අසිරිමත් ලෙස පිහිට වූ ආකාරය මම දැක තිබෙනවා.

 

දිනපතා සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වී මේ ඉල්ලීම, ඉල්ලීම් පත්‍රිකාවක ලියා අදටත් ජීවමාන සලකුණු දක්වන දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කරමින් ඉල්ලා සිටියේ මගේ අක්කාගේ උගුරේ ඇති වී තිබෙන මේ ගෙඩිය සුවපත් කර දෙන ලෙසයි. පසුව මහත් වූ විශ්වාසයකින් මම ඉල්ලීම් ලිපිය හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට දැම්මා. අක්කා මීගමුව මහ රෝහලේ පැවැත්වෙන ශල්‍යකර්මයට දින පැමිණෙනතුරු මම දිගටම මේ දේ කලා. හාස්කම් යාච්ඤාව අතරතුර මගේ ඉල්ලීම් ලිපිය දේව මෑණියන්ගේ ප්‍රතිමාව දෙසට දිගු කර ලිපියේ ඇති ඉල්ලීම සිතින් යොමු කරන විට මට දැනුනේ මගේ මේ ඉල්ලීම කවුරුන් හෝ අසාගෙන සිටින බවකුයි. මට ඒක හොඳටම දැනිලා තියෙනවා. ඒ හැම වෙලාවකම මට දැනුනේ මේ ඉල්ලීම කොහොමහරි ඉටු වන බවයි. ඒත් ඒ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ.

 

මෙසේ කල් ගත වුනා. ජනවාරි මාසය උදා වුනා. මීගමුව මහ රෝහලෙන් දැන්වූ ලෙස 15 වන දින ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත නිසා ජනවාරි 14 වන දින ඇය මීගමුව මහ රෝහලට ඇතුලත් වුනා. එදා ඇය රෝහලට ආවේ ඇයගේ සැමියාත් සමගයි. එදා මමත් රෝහලට ගියා. අක්කව රෝහලට ඇතුලත් කල පසු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පින්තූරයක් මං අක්කට දුන්නා ළඟින් තියාගන්න. පසුදා උදෑසනම සැත්කම කල යුතු නිසා ඇය එදා සිටියේ ටිකක් භයෙන්. හවස් වෙලා මීගමුව රෝහලෙන් මම පිටත් වෙලා එන ගමන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ඇවිල්ලා රෝස මල් ඉටිපහනකුත් පත්තු කරලා නැවතත් ගෙදර ගියා.

 

15 වෙනිදා උදෑසන 7.30 සැත්කම් කිරීම සඳහා වෙලාව ඇයට දන්වා තිබූ බවත් ඒ වෙනුවෙන් පාන්දරින්ම සූදානම් වෙන්න කියා වාට්ටුවෙන් ඇයට දැනුම් දුන් බවත් මට අක්කා දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ නිසාම 15 වෙනිදා මම පාන්දරින්ම මීගමුව මහ රෝහලට ගියා. මම එන විට අක්කගේ සැමියත් රෝහලට ඇවිත් හිටියා. ඇය සැත්කමට සූදානම් වන පිණිස සුදු පාට ඇඳුමක් ඇඳගෙන හිටියා. තවත් කීප දෙනෙක් සැත්කම් සඳහා වාට්ටුවේ සූදානම් වෙලා හිටියා.

 

ශල්‍යකර්මය සිදු කරන නිසා ඇයට කෑම කන්න එපා කියලා නියම කරලා තිබුනා. රෝගීන් බලන වෙලාව ඉවර නිසා මම රෝහලෙන් පිටත් වුනා. අක්කාගේ සැමියා රෝහලේ නතර වුනා. මම ගෙදර ඇවිත් විනාඩි කිහිපයකට පස්සේ අක්කා මට කෝල් කරලා කිව්වා වෛද්‍යවරු කිව්වා මේ සැත්කම ටිකක් බරපතල නිසා සැත්කම කල පසු කවුරුහරි ළඟ ඉන්න ඕනා කියලා. මං ඉක්මනටම ඇඳුම් ටිකක් ලෑස්ති කරගෙන මීගමුව මහ රෝහලට ගියා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා රෝහලට ඇතුල් වෙන දොරටුව ළඟට යද්දි, අක්කා මං එනකම් බලන් ඉන්නවා දැකලා මම භය වෙලා අක්කා ළඟට ගිහින් ඇහුවා මොකද මේ ඔපරේෂන් එක කලේ නැද්ද කියලා. එතකොට එයා කියපු දේට මගේ ඇඟ හිරිවැටිලා ගියා.

 

ඇය කිව්වා, ‛‛මාව ඔපරේෂන් එකට ගන්න ඉස්සෙල්ලා වාට්ටුවෙදි ගෙඩිය පරීක්‍ෂා කරලා බලලා තියටර් එකට ගෙනිච්චා. තියටර් එක ඇතුලට ගියාම මට පිච්ච මල් සුවඳක් දැනුනා. ඒ සුවඳ හරියට මං වටේම කැරකිලා හමනවා වගේ මට දැනුනේ. ඒත් එක්කම ඩොක්ටර්ස්ලා ඇවිත් බෙල්ලේ ගෙඩිය පරික්‍ෂා කලා. ඒ අය ටිකක් කලබල වෙලා බෙල්ල පරික්‍ෂා කරනවා වගේ මට තේරුනා. ඩොක්ටර් එක පාරටම කිව්වා ගෙඩිය නෑනේ කියලා. මාත් භය වුනා. මං එතකොට කිව්වා ඉතින් ඩොක්ටර්ස්ලමනේ කිව්වේ ගෙඩියක් තියෙනවා කියලා මාස ගාණකට කලින් ඉඳන් පරික්‍ෂා කරලා බලලනේ මේ ගෙඩිය ඔපරේෂන් එකකින් ඉවත් කරන්න ඕනා කිව්වේ කියලා මම ඇහුවා. ඩොක්ටර් කිව්වා, ඔව් ඒක ඇත්ත. ගෙඩියක් ඔයාගේ උගුරේ තිබුනා. අපි ඒක දන්නවා. ස්කෑන් රිපෝට්ස්වලත් ඒක සටහන් වෙලා තිබුනා. ඒත් දැන් මේ ගෙඩිය එකපාරටම අතුරුදහන් වෙලා කියලා. මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා කියලා. ඒ වෙනකොට මගෙත් උගුරේ අමාරුව නැති වෙලා කියලා දැනුනා. මාත් භයෙන් භයෙන් ගෙඩිය තිබුන හරිය අත ගාලා බැලුවා, මාස ගාණක ඉඳන් අද උදේ වනතුරු මගෙ උගුරේ තිබුනු ඒ ගෙඩිය දැන් අහුවෙන්නේ නෑ. මට ඒ වෙලාවේ දැනුනේ භයක් එක්ක සතුටක්. එතකොට ඩොක්ටර්ස්ලා කිව්වා ඔපරේෂන් එක කරන්න අවශ්‍ය නෑ මෙයාව වාට්ටුවට ගෙනියන්න කියලා. ඉතින් මං මේ ඔයා එනවද කියලා බලන්න පහලට ආවා කියලා.’’

මට දැනුනේ මහා පුදුම සතුටක්. මම දේව මෑණියන්ගෙන් ඉල්ලපු දේ මට ලැබිලා. එතුමිය මගේ ඉල්ලීමට පිහිට වූ ආකාරය මහා පුදුමාකාරයි. මම ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. අක්කා කිව්වා වාට්ටුව භාරව ඉන්න වෛද්‍යවරයා එනකම් මට ඉන්න කිව්වා, ආයෙත් චෙක් කරන්න ඕනා කියලා. අපි ටික වෙලාවක් හිටියා. මේ වෙච්ච වැඩේ වාට්ටුවේ අනික් රෝගීන්ටත් ලොකු පුදුමයක්. ඒ අයත් අක්කා ළඟට ඇවිත් විස්තර අහනවා මොකක්ද මේ වෙච්ච ප්‍රාතිහාර්‍යය කියලා.

 

ටික වෙලාවකින් වාට්ටුව භාර වෛද්‍යවරයා ඇවිත් ඇයව පරික්‍ෂා කරලා කිව්වා දැන් උගුරේ ගෙඩියක් නෑ. ඔපරේෂන් එකක් අවශ්‍ය නෑ. දැන් උදේට කාලා ගෙදර යන්න කියලා. මේ දේ උනේ කොහොමද කියලානම් අපි දන්නේ නෑ. ඒත් කියන්න තියෙන්නේ දැන් උගුරේ ගෙඩිය අතුරුදහන් වෙලා කියලා විතරයි. දැන් ඔයාට 100% ක් හොඳයි කියලයි.

 

උගුරේ මෙවැනි ඔපරේෂන් කරපු අය ඒ වාට්ටුවේ හිටියා. ඒ අය දුක් විඳින හැටි මම දැක්කා. ඒ වෙලාවේ මට හිතට ලොකු සැනසීමක් දැනුනා. කටුනායක දේව මෑණියන් මගේ ඉල්ලීමට පිහිට වූ ආකාරය ගැන. ඒක හරිම පුදුමාකාරයි. අපි රෝහලෙන් පිටත් වෙලා කෙලින්ම ආවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි. දර්ශන භූමියේ ස්ථාපිත කර ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ රෝස මල් ඉටිපහන් පත්තු කරලා එතුමියට ස්තූති කලා. පුරා දශකයකටත් වැඩි කාලයක් කටුනායක දේව මෑණියන්ගෙන් මේ සිද්ධස්ථානයේ වැඩ වසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතය ආලෝකමත් වී තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මහා හාස්කම් භූමියක්. මේ තැන දේව මෑණියන් ආපු ගිය තැනක් කියනවාට වඩා කියන්න ඕනා දේව මෑණියන් අදටත් එන යන තැනක්, අදටත් ඇතුලාන්ත ජීවිතයක් ගත කරමින් මේ සිද්ධස්ථානයේ වැඩ වසන ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අපේ ඉල්ලීම් වෙනුවෙන් දෙව් මවුන්ට ආයාචනා කරන බව මම දන්නවා. සෑම සෙනසුරාදාවකම පවත්වන මේ හාස්කම් යාච්ඤාව අතරතුර දේව මෑණියන් අපි දිහා බලාගෙන අපේ ඉල්ලීම් වලට සවන් දෙන බව මම හොඳාකාරවම දන්නවා. අන්න ඒ නිසයි හාස්කම් යාච්ඤාව අතරතුර දේව මෑණියන්ගේ ප්‍රතිමාව ජීවමාන වෙලා යම් යම් ජීවමාන ලකුණු පෙන්වන්නේ. මගේ මේ ඉල්ලීම ඔබතුමිය ඉටු කර දුන් ආකාරය මහා පුදුමාකාරයි.

 

ඒ වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ටත්, කටුනායක දේව මෑණියන්ටත් මං හදවතින්ම ස්තූති කරනවා. ඒ වගේම මගේ අක්කාගේ උගුරේ ඇති වූ මේ ගෙඩියේ ස්කෑන් පිටපත් හා වෛද්‍යවරුන් මේ වෙනුවෙන් ලබා දුන් සියළුම විස්තර මෙම ලිපියත් සමග අමුණා එවනවා.

 

ජේ. ඒ. සඳුනි දිලීකා
කලඑළිය, ජා-ඇල

සියලු පුවත්

මරිය තුමිය විසින්ම කල පුදුම හාස්කමක්

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළින් අසිරිමත් ලෙස පිච්චමල් සුවඳ විහිදෙයි

ජූලි 27 වෙනි දා කටුනායක දර්ශණ දෙව් මැඳුරේ දෙව් මවු පාමුල ලද ඇත්දැකීම්

දෙව් මවුන්ගේ සුවද විඳීමට මගේ ඉන්ද්‍රියන් පින් කර තිබුණා

දෙව් මවු දර්ශනයට හතළිස් දෙවසරක් සපිරෙන දා එතුමියගේ ස්වර්ගීය සුවඳ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයම වෙලා ගනී

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි

මිනිසෙකුගේ ආයු කාලය දවස් 27375 ක් බව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

ඔබ ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන මොහොතක් එනවා

දරුවකු කිසිදු දිනයක නේවාසිකාගාරයක නතර නොකල යුතුයි

ඇය ශල්‍යාගාරයෙන් ආපසු හැරී ආවාය, මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා – වෛද්‍යවරු කියති

ලොවටම ආදර්ශයක් දෙමින් රංග ප්‍රසාද් සමග සදුනි දිලීකා අතිනත ගනියි

යාචකයෙකුටවත් යමක් නොදෙන තණ්හා සිත ගැළවීම සඳහා ලොකුම බාධාවක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

දෙමාපියන්ට සන්ඩු සරුවල් කර ගැනීමට අවශ්‍යයම නම් ඒවා කරගත යුත්තේ දරුවන් නින්දට ගිය පසුවයි. එය මුළු සමාජයටම දෙමාපියන් කරන සේවයක් – ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කරයි

කුරුසිය දෙපස සිටි වරදකරුවන් දෙදෙනාම ජේසුස් ස්වාමින් වහන්සේට අපහාස කළා ද – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රශ්ණයක් මතු කරයි

ජාති ආගම් බේදයන්ගෙන් තොර මහ සෙනගකගේ ජය ඝෝෂා මැද දෙව් මවුන්ගේ දසඅට වන දර්ශණ ප්‍රතිමාවට ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රන් මිණි ඔටුණු පළඳවනු ලබයි

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.