
2024 අගෝස්තු 17 දින තවත් ඓෙතිහාසික දිනයක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළ ස්ථාපිත දෙව් මවුන් ජේසු බිළිදුන් වඩවාගෙන වැඩසිටින ප්රතිමාවෙන් 6 වෙනි වතාවටත් අසිරිමත් පිච්ච මල් සුඝන්දය විහිදුනේ අගෝස්තු 17 වන දිනයි. සුපුරුදු පරිදි ම එදින ද බැතිමතුන් දේව මෑණියන් වටා රොක් වී හාස්කම් යාච්ඤාව උච්චාරණය කරන සෙනසුරාදා දිනයක් වීම ද විශේෂත්වයක්.
අගෝස්තු 17 වන සෙනසුරාදා දිනයේ මම අසනීප තත්වයකින් පසුවී සිටි නිසා හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට මට හැකි වුනේ නෑ. නමුත් ඒ දිනයේදීම අසනීප වීම, කොයිතරම් අවාසනාවන්ත අවස්ථාවක් ද කියලා, එදින රාත්රී 9.30 පමණ වනතෙක් වත් මම දැනගෙන හිටියේ නෑ. රාත්රී 9.30 පමණ වන විට මට දුරකතන ඇමතුමක් ලැබුණා. ‛‛6 වෙනි වතාවට අද දේව මෑණියන්ගේ ප්රතිමාවෙන් සුවඳ ආවා, පුළුවන්නම් යන්න පල්ලියට’’ මේ පණිවිඩය මට ලැබෙනකොටත් මම පසු වුනේ තද උණ තත්වයකින්. නමුත් එය ඇසූ සැණින් ඒ සුවද විඳගන්නතෙක් මට ඉවසුමක් නැති වුනා. කොයිතරම් අමාරු තත්වයක හිටියත්, මේ අවස්ථාව මගහැරවගන්න මගේ හිත මට නම් ඉඩක් දුන්නේම නෑ. මගේ හිත පැවසුවේම, ඒ වාසනාව මගහැරගන්නට තරම් මම ලොකු අවාසනාවන්තයෙක් බවයි. රාත්රී 10ට පමණ අපොස්තලික මාධ්ය අධ්යක්ෂක තුමාට දුරකතන ඇමතුමක් ලබා දී මේ පිළිබද විස්තර විමසූ විට, ඒ සුවද විඳගැන්මට මගේ හිතේ තිබූ ආශාව තව තවත් වැඩි වුණා. දුරකතන ඇමතුමෙන් විනාඩි 15කට පමණ පසුව, අපොස්තලික මාධ්ය අධ්යක්ෂක තුමා අමතා මා නැවතත් පැවසුවේ, මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණීමට නිවසෙන් පිට වූ බවයි.
සිද්ධස්ථානයට යන තුරුම ඒ සුවද විඳින්න මගේ හිත තුළ තිබුණේ විශාල ආශාවක්. සිද්ධස්ථානයේ ගේට්ටුවෙන් ඇතුළු වෙන්නත් කලින්ම මට ඒ සුවද දැනුනා. ඒ සුවද සාමාන්ය සුවදක් නොවෙයි. ඒ සුවද දැනුන, ඒ සුවඳ විඳපු හැම පුද්ගලයාම ඒ බව දන්නවා. මුළු සිද්ධස්ථාන භූමියම දේව මෑණියන්ගේ ස්වර්ගීය සුවදින් පිරිලා. මට දැනුනේ මම වෙනම ලෝකයකට ගියා වගෙයි. දර්ශණ දෙව්මැදුරේ දොරටුව ලගටම ගිහින් මම ඒ සුවද වින්දා. මට තවත් ඒ සුවද වැඩියෙන් විඳගන්න අවශ්ය වුණ නිසා එම දොර මැද දාරයට මගේ නාසය තියා තදින් ආශ්වාස කලා. ඇත්තෙන්ම එය ඇබ්බැහි වෙන සුළුයි. එලෙසින් ඒ සුවද ආශ්වාස කරමින් ඉන්නා විට අධ්යක්ෂක තුමාගෙන් දුරකතන ඇමතුමක් ලැබුනා ‛‛උන්වහන්සේ කිව්වා ඔයාට දොර ඇරලා දෙන්න කියලා. දර්ශණ දෙව් මැඳුර ඇතුලට ගිහින් බලන්න.’’
ඒ මොහොතේ මට දැනුනේ විශාල වාසනාවන්ත හැගීමක්. ඒ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ස්තූතිවන්ත වෙමින් කඩිනමින් දර්ශණ දෙව්මැදුරට ඇතුළු වුනේ මිහිපිට ඇති පුංචි ස්වර්ගයට ඇතුළුවන හැගීමෙනුයි. විනාඩි 15ක් පමණ, දෙව් මවුන් ප්රතිමාව පාමුල දණින් වැටී ඒ අසිරිමත් ස්වර්ගීය සුවද විඳිමින් දේව මෑණියන්ටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ටත් ස්තූතිවන්ත වුනේ මේ ප්රාතිහාර්ය නැවත වරක් අපට විඳගැනීමට අවස්තාව උදාකර දුන් නිසයි.
ස්වර්ගයත් මේ මහා පොළොවත් යා වන මෙලොව ඇති එකම එක ශුද්ධ වූ භූමිය වන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වර්ෂ 1975 පෙබ්රවාරි 7 වන දින සිට මෙතුවක් වසර 50ක් පුරාවට පුදුම සිදුවීම් සිදුවන භූමියක්. වෛද්යවරුන් පවා පුදුමයට පත් කරවමින් මේ භූමියට විශ්වාසයෙන් පැමිණි බැතිමතුන්ගේ අසාධ්ය රෝගී තත්වයන් සුව වුනා, විවිධ අසරණකම් ඇති මිනිසුන්, මේ දර්ශණ භූමියේදී සැනසීම ලැබුවා, පුදුම වූ ප්රාතිහාර්යන් මේ ශුද්ධ වූ භූමිය තුළ සිදු වෙද්දී, තම දෑසින්ම බැතිමතුන් ඒවා අත්දුටුවා. දේව මෑණියන්ගේ ප්රතිමා වලින් විවිධ වූ ජීවමාන සලකුණු බැතිමතුන් තම දෑසින්ම දුටුවා. තවත් පුදුමසහගත සිදුවීම් මේ පින්වන්ත භූමියේදී සිදු වුනා. ඒ සිදුවීම් තවමත් සිදුවෙමින් පවතිනවා. ඇත්තෙන්ම, හොඳින් කල්පනා කර සිතා බැලුවහොත් පුදුම වන්නට කරුණක් ද නොවෙයි. මන්ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල වූ කන්ය මරිය මාතාවන් 23 වාරයක් දර්ශණය වූ, ක්රිස්තුස් වහන්සේ දර්ශණය වී උන්වහන්සගේ දසසතර වෙනි අපොස්තුළුතුමාණන් පත් කරගත් සහ ඒ අපොස්තුළුතුමාණන් වහන්සේ ජීවමාණව වැඩ සිටින, මේ ලොව ඇති එකම එක ශුද්ධ වූ භූමියයි. මේ සියල්ලක් අපට අත්දකින්නට හැකිවන්නේත්, පිහට වරප්රසාදයන් ලැබන්නේත් ඒ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් නිසයි. උන්වහන්සේ අප උදෙසා දෙව් මවුන් ඉදිරියේ මැදිහත් වන නිසයි. උන්වහන්සේ නොමැති ලොවක, උන්වහන්සේ නොමැති කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ මෙවන් පුදුම සිදුවීම් කිසිදාවත සිදුවන්නේ නැති වේවි. මේ සියල්ලක් අපට උරුම කර දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් හට අප නිරන්තරයෙන් ස්තූතිවන්ත විය යුතුමයි.
ලොවේ අන් කොතැනකවත් නැති, මේ ලොව පමණක් ඇති, එකම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අප රැකගත යුතුමය. මේ සියල්ලක් අපට ලබා දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව අප රැකගත යුතුමය. එහි වටිනාකම දැනටත් වඩා අප මෙලොවින් සමුගත් දිනයක අපට වැටහෙනු ඇත. ‛දේව දීමනා දකින්නට මනුෂ්යයා අකමැති වීම ලොකුම අභාග්යයි’ යනුවෙන් නිර්මල කන්ය මරිය මාතාවන්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ ජීවමානව ම දර්ශණය වූ එක් අවස්ථාවක ප්රකාශ කර ඇති ලෙසින් තවමත් මෙම දේව දීමනා මගහැරගන්නා කොට්ඨාශයක් ද ඇත. ඔවුන්ද එහි පසුතැවීම අත්දකින්නේ මෙලොවින් සමුගත් දිනෙකය. මට පෞද්ගලිකව විශාල සතුටක් තිබෙනවා, මිය යන්නට පෙර මේ දේව දීමනා අත්දකින්නටත්, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දහම් සෙවණේ ජීවත් වීමටත් මම වාසනාව ලැබුවා.
අවසාන වශයෙන් මෙම ප්රාතිහාර්ය සය වෙනි වරටත් අපට උදා කරදුන් නිර්මල දේව මාතාවන්ට ස්තූතිවන්ත වන අතර, එදින හාස්කම් යාච්ඤාවට සහභාගි වීමට අවස්ථාව නොලැබුනත් තනිවම දර්ශණ දෙව්මැදුරට ඇතුළු වී එම අසිරිමත් ස්වර්ගීය පිච්ච මල් සුගන්දය විඳගැනීමට අවස්ථාව ලබාදුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ද ඉතාමත් ගෞරවයෙන් ස්තූතිවන්ත වෙමි.
ප්රවීන් ශානක පෙරේරා
ජා-ඇල