ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතයේ අවසාන කොටස පැය කීපයකට සීමා කරලා, පැය කීපයකට ලගු කරලා දුක් වීම ක්‍රිස්තියාණිකම නොවන බවත් පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ ක්‍රිස්තියාණිකම යනු ඊට වඩා එහා ගිය දෙයක් බව ද, උන්වහන්සේගේ දුක්ප්‍රාප්තිය වසරේ දවස් තුන්සිය හැට පහේදී ම අප සිත් තුල රැදී පැවතිය යුතු බව ද පැවසූ සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙය එදින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුන අතර, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් මේ සදහා ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුල රැස්වී සිටියහ.

තව දුරටත් රැස්ව සිටි සැදැවතුන් අමතමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් වහන්සේ වදාලේ, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ගත කල ජීවිතය පිළිබදව විශේෂයෙන් සලකා බලත් දී උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය පිළිබදව අප බොහෝ දුක් වන බවත්, අවුරුදු දෙදහසකටත් වැඩි කාලයකට පෙර සිදු වූ එම දුක් ප්‍රාප්තිය අවුරුදු පතා සිහිපත් කරන බවත්, ක්‍රිස්තුස් වහන්සේ යම්කිසි එකම එක සභාවකට අයත් නොවන නිසා විවිධ සභාවන්ට අයත් ක්‍රිස්තියාණීන් කල්වාරිය පිහිටා ඇති ජෙරුසලමට යන බවත්, උන්වහන්සේ මුළු ලෝකයටම, මුළු මිනිස් වර්ගයාට ම අයිති බැවින්, ක්‍රිස්තුස් වහන්සේ අයිති මට විතරයි, නැත්නම් අපේ සභාවට විතරයි, අපේ කල්ලියට විතරයි, අපේ කණ්ඩායමට විතරයි යනුවෙන් කිසිවෙකුටවත් පවසා ක්‍රිස්තුස් වහන්සේව අයිති කර ගත නොහැකි බවත්, ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බවත් ය.

පැයකට ආසන්න කාලයක් තම දේශණය පැවැත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණෝ, යම් පිරිසකට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් යම් සංවිධානයක්, යම් සභාවක්, සමිතියක් පටන් ගත හැකි බවත් එය ගැටළුවක් නොවන නමුත් ක්‍රිස්තුස් වහන්සේව සියල්ලන්ට ම අයිති බව අමතක කල යුතු නැති අතර, ඒ බව අමතක කරනු ලැබුවහොත් එවැන්නෝ වැඩ වරද්දා ගන්නා අතර, ඇතැම් විට අමාරුවේ වැටෙන්නට ද ඉඩ ඇති බව පැවසූ සේක.

බෙත්ලෙහෙමේ දී ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය ලෙසින් සලකන ස්ථානයේ සවිකර ඇති ස්වර්ණමය තාරකාව අසල දී බොහෝ ක්‍රිස්තියාණින්ගේ මුහුණු නත්තල වගේම සතුටින් ආලෝකමත් වී ඇති බව ද, ඊට දින ගණනකට පසුව ජෙරුසලමට යන ඔවුන් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ දිවි පිදූ කල්වාරිය අසල දී දුක් බර මුහුණින් වැලපෙන අයුරු ද ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දුටු බවත්, බෙත්ලෙහෙම හෝ කල්වාරිය ශ්‍රී ලංකාවේ පිහිටා නැතත් ශ්‍රී ලංකාවේ ජීවත් වන ක්‍රිස්තියාණින් ද මෙලෙස ක්‍රියා කරන බවත්, නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන බවත්, එසේ කරනුයේ ඇයි ද කියා ප්‍රශ්ණ කල යුතු බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වැඩි දුරටත් ප්‍රකාශ කල සේක.

දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙයේ දී, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේගෙන් ආශිර්වාදය දානය කිරීම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දෝතින් සිදු වූ අතර, ඊට පෙර සැදැහැවතුන්, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට රතු පැහැති ඉටිපහන් දල්වා තැන්පත් කර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ වෙත සිය ගෞරවය පුදනු ලැබීය.

ක්‍රිස්තුස් වහන්සේ හෝ අපොස්තුළුතුමෙක් හෝ ඕනෑම අධ්‍යාත්මික ගුරුතුමෙක් ජනතාවට ධර්මයෙන් මග පෙන්වා දෙන විට එය ඔරොත්තු දෙනුයේ ඥාණවන්තයන්ට පමණක් බව උදාහණයන් සහිතව මෙහිදී විස්තර කරනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, අධ්‍යාත්මික ගුරුවරයෙක් තමා පැවසූ කිසිදු ප්‍රකාශයක් වැරදීමකින් පැවසූ දෙයක් ලෙසින් පවසා ඉවත් කර නොගන්නා අතර, ආධ්‍යාත්මික ගුරුවරයෙක් හොද සිහි කල්පනාවෙන්, බුද්ධිමත්ව කතා කරන බවත්, ඔවුන් කතා කරන්නේ ඥාණවන්තයන්ට බවත්, එවිට ඒ ඥාණවන්තයන් බුද්ධිමත්ව කල්පනා කර ගැටළු ඇත්නම් ඒ ගැන විමසන අතර, ලොවට පහළ වන කිසිදු අධ්‍යාත්මික ගුරුතුමෙක්, ‛ඒවා අභිරහස්’ නැතහොත් ‛ඒවා අපට තේරුම් ගන්නට බැහැ’ වැනි පිළිතුරු දිය නොහැකි ලිස්සා යන ප්‍රකාශයන් නොකරන බවත් පැවසූ සේක.

2020 අගෝස්තු 15 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ දිව්‍ය සත්ප්‍රසාදික ජේසු නැමැදීමේ සැදෑ මෙහෙයේ අවස්ථාවන් කීපයක් මෙහි ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි

March 4th, 2021

Posted In:

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබීය.

නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පුදුමාකාර හාස්කම් බහුල සිද්ධස්ථානයක්.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා වෙත ග්‍රන්ථය පිළිගන්වමින් සහ මෙම අවස්ථාවට සහභාගි වූ විශේෂ අමුත්තන් පිරිස අමතමින් අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා කියා සිටියේ, ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ නැමැති මෙම ග්‍රන්ථයේ සදහන් වන්නේ, අවුරුදු 45ක් පුරාවට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ දෙව් මවුන් වෙතින් පිහිට වරප්‍රසාද ඉල්ලූ දහස් සංඛ්‍යාත සැදැහැවතුන් ලද දහස් සංඛ්‍යාත පුදුමාකාර පිහිට පිළිබද කතාවන් අටක් බවත්, ඒවා හොදම කතා අට නොව, පුදුමාකාර පිහිට ඇතුලත් කතාවන් දහස් ගණනක් අතරින්, කතාවන් අටක් පමණක් බවත් ය.

තවදුරටත් කතා කරමින් අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා ප්‍රකාශ කලේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සැදැහැවතුන් ලබා ඇති අප්‍රමාණ පුදුමාකාර පිහිට ඇතුලත් කතාවන් සියල්ලම හෝ අඩු තරමින් සිය ගණනක් කතාවන් කෙනෙක් කියවූවහොත්, මෙම ග්‍රන්ථයේ සදහන් කතා අටට වඩා හොද කතාවන් තියනවා නොවේදැයි ස්ථීරයෙන්ම අසන බවත්, සිදුවී ඇති ප්‍රාතිහාර්‍යාත්මක කතා අතරින් මෙම ග්‍රන්ථය සදහා කතාවන් තෝරා ගැනීමේ දී තමන් ද දැඩි අපහසුතාවයකට පත් වූ බවත්, එතරම් ම පුදුම කතා රැසක් අතරින් මෙම කතා අට පමණක් මෙසේ පොතක් ලෙසින් එළි දැක්වූ අතර, ඉදිරියේ දී තවත් පුදුම කතා ඇතුලත් පොත් කීපයක් ම එළිදැක්වීමට අපොස්තලික මාධ්‍ය ජාලය කටයුතු කරන බවත්ය.

‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථය අපාස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා විසින් සංස්කරණය කර ඇති අතර, එහි මුල් පිටපත භාරගත් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ග්‍රන්ථයේ සදහන් විවිධ වූ පුදුම කතාවන් පිළිබදව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මහතා වෙතින් විස්තර විමසනු ලැබුවේ පොතේ පිටු පෙරලමින් එම කතාවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමිනුයි.
උපතේ සිට කතා කල නොහැකිව ගොළුව සිටි සය හැවිදිරි දරුවා දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ කතා කිරීමට ඇරඹීම, පිළිකාවක තත්වයට වර්ධනය වෙමින් තිබූ, විසි දෙහැවිරිදි වියේ තරුණයකුගේ යටි බඩේ ගෙඩිය අතුදන් වීමේ කතාව, විවාහයෙන් පසු අවුරුදු දහයක් දරුවන් නොලද යුවලක් මව් පියන් බවට පත්වීමේ පුවත, දර්ශණ ඉටිපහන් දැල්ලෙන් පිළිස්සී සුවය ලද පිළිකා රෝගියාගේ කතාව ඇතුළුව කතාවන් අටක් රැගත්, ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථය ඔබට ලබාගත හැක්කේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් ම පමණයි.

August 11th, 2020

Posted In:

පසුගිය දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියට පැමිණි තරුණයෙක් අපූරු කතාවක් කරනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි වන්දනාකරුවන් ද රැසක් ම ඉදිරිපිටයි.

2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දින සවස දෙනොදහක් ජනතාව හමුවේ කරනු ලැබූ විස්මිත ප්‍රාතිහාර්ය නිසයි. එදින සවස හාස්කම් යාච්ඤාවට සහභාගි වනු පිණිස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි සැදැහැවතුන්ගේ දෑස් ඉදිරියේ ම නිර්මල කන්‍ය මරිය මාතාවෝ සිදුකරනු ලැබුවේ මහා විශ්මිත දෙයක්. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී එතුමිය විසිතුන් වතාවක් දර්ශණය වූ දර්ශණ දේව මන්දීරය තුල ජීවමාන වෙමින්, දර්ශණ දේව මන්දීරය තුල ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය නොකඩවා පැය ගණනාවක් එතුමිය පතුරණු ලැබුවේ, ඒ මිහිරි සුඝන්ධයේ ආශ්වාදය සියළුම සැදැහැවතුන්ට දැනගැනීමට සලස්වමිනුයි. දර්ශණ දේව මන්දීරය තුල පමණක් නොව සිද්ධස්ථාන භූමියට ද, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ද පැතිරී ගිය මෙම ප්‍රාතිහාර්‍යාත්මක පිච්ච මල් සුඝන්ධය එයින් ද නොනැවතී, සිද්ධස්ථානය ඉදිරිපිට මහා මාර්ගය දෙපසටම ද, මීටර් සියයක් පමණ දුරක් දක්වා පැතිරීම සුවිශේෂ සිදුවීමක්.

මෙතරම් අසිරිමත් ප්‍රාතිහාර්යයක් සිදු කරනු ලැබූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වන කටුනායක අප ස්වාමිදූට තුති පුද කිරීම සදහා මෙම ජපමාල උච්චාරණය සිදු කරනු ලැබූ අතර, විසිතුන් වතාවක් නිර්මල කන්‍ය මරිය මාතාවන් දැක ගැනීමේ දුර්ලභ, සුවිශේෂී වාසනාව හිමිකර ගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රධානත්වයෙන් ජපමාල උච්චාරණය සිදු වුනා. එය සැදැහැවතුන්ට ඉතාමත් ප්‍රීතියට කරුණක් වූ අතර, ජූලි 27 වෙනි දින පිච්ච මල් සුඝන්ධය විහිදී පැතිරුණ දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාල උච්චාරණය සිදු වුනා.

ජපමාලය උච්චාරණය කරනු ලැබීමෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය දේශණය පවත්වනු ලැබූ අතර දේශණය අවසානයේ උන්වහන්සේ ඉදිරියට පැමිණියේ ජාඇල, ප්‍රවීන් ශානක පෙරේරා තරුණයායි. සිවිල් ඉංජිනේරුවරයෙක් වන ඔහු සමාජශීලී තරුණයෙක්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සහ රැස්ව සිටි ජනතාව ඉදිරියේ ඔහු කල කතාව මුළු සමාජයටම ලොකු පාඩමක්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට විරුද්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලැබූ විවිධ ක්‍රියාවන් ඔහු හෙලි කරනු ලැබුවේ දැඩි සංවේගයකින්.

දැනට අවුරුදු දෙකකට පෙර, දිගු කාලයක් පුරා ප්‍රවීන් ශානක මහතා විවිධ අසත්‍ය කතා පතුරවමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට එරෙහිව මඩ ප්‍රචාර එල්ල කරනු ලැබූ බවත්, ඇත්තටම ඒ සදහා කිසියම් පිරිසක් ඔහුව පොළඹවනු ලැබූ බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

අද සිදුවන සමාජ මාධ්‍ය අවභාවිතය කිරීම පිලිබද පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කල ප්‍රවීන් ශානක මහතා මේ නිසා කිසිදු සාක්ෂියක් නොමැතිව ඉතාමත් ගුණවත් සුසිල්වත් පුද්ගලයන්ට නින්දා අපහාස කිරීමටත්, සත්‍ය කතාව වසන්කර මුළුමනින්ම සම්පූර්ණ අසත්‍ය කතාවක් සමාජ ගත කිරීමට කුහක මිනිසුන්ට හොද ඉඩකඩක් විවර වී ඇති බවත් කියා සිටියා. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි ආසියාකරයේ රටක ජීවත්වන මිනිසුන්ට මේ ලැබී ඇති ඉඩකඩ ඉතාමත් අනතුරු දායක බවත්, තමාද මෙම ක්‍රියාව සිදු කරනු ලැබූ කුහක පුද්ගයකු බවත් ප්‍රසිද්ධියේම කියා සිටියා.

රැස්ව සිටි ජනතාව තුෂ්නිම්භූතව මේ ප්‍රවීන් ශානක පෙරේරා තරුණ මහතාගේ කතාවට සවන් දෙමින් සිටින අයුරු දැකගැනීමට ලැබුන අතර, තව දුරටත් ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කරණු ලැබුවේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරිපිටදීමයි.

සෑම ගුණ යහපත් මනුෂ්‍යයෙකුට ම නින්දා අපහාස කිරීමට අද බොහෝ දෙනෙක් ෆේස්බුක් සමාජ මාධ්‍ය භාවිතා කරනවා. මමත් ඒ ටික කලා. සෑම ගුණ යහපත් මනුෂ්‍යයෙකුටම මම එසේ කලේ නැහැ. එකම එක ගුණ යහපත් මනුෂ්‍යයෙකුට මම ඒ ටික කලා. ඒ ගුණ යහපත් මනුෂ්‍යයා දැන් අප ඉදිරියේම ඉන්නවා. ඒ, මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමයි. මම ඒ සියල්ලක් කලේ උන්වහන්සේට අපහාස කිරීමේ චේතනාවෙන්මයි. සත්‍ය දැනගෙන නොවෙයි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ මම උන්වහන්සේව පතුරු ගැසුවා. මම මොනවද නොකිව්වේ. මගේ පෝස්ට් දැකලා මිනිස්සු හිනා වෙද්දී මට දැනුනේ ලොකු සතුටක්. සාමාන්‍යයෙන් මිනිස්සු පහත් රසයට, කුණු රසයට කැමතියි. ඒ නිසා මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සෑම යහපත් ක්‍රියාවක්ම කණපිට පෙරලලා මම ෆේස්බුක් හරහා ප්‍රචාරය කලා. එදා ජේසුස් ස්වාමින්වහන්සේට, උන්වහන්සේගේ විරුද්ධවාදීන් කල සියළුම ආකාරයේ අපහාසයන්, අද මා විසින් මේ අපොස්තුළුතුමන්ට එල්ල කරනු ලැබුවා. මරියමෑණියන් 23 වතාවක් දර්ශණය වුණ, ක්‍රිස්තුස්වහන්සේ දර්ශණය වී උන්වහන්සේගේ 14 වන අපොස්තුළුතුමන් ලොවට තෝරාදුන් ස්ථානයේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉස්සරහම මගේ පාපය මෙහෙම ප්‍රසිද්ධියේ කියන්නට මට අවස්ථාවක් ලැබීම ගැන සතුටුයි. නමුත් මම කලේ ලොකු පාපයක්. මොකද මේක එසේ මෙසේ පාපයක් නෙමේ. අපොස්තුළුතුමෙකුට අපහාස කරනවා කියන්නේ සමාව ගන්න පුලුවන් පාපයක් නෙමේ. නමුත් මගේ හදවත මට බලකලා මා කල පාපය ප්‍රසිද්ධියේ ම පිලිගන්න කියලා. ඒ නිසයි මම මෙහෙම ඉදිරියට ආවෙ. මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට ආදරය කරන විශාල පිරිසක් දැන් මෙතන ඉන්නවා. මේ අපොස්තුළුතුමන්ට නින්දා කරමින් මම ෆේස්බුක් හරහා පලකල අපහාස පෝස්ට්, විකුර්ති කර පලකල මේ අපොස්තුළුතුමන්ගේ ඡායාරූප ඔයගොල්ලෝත් දකින්න ඇති. කලබල නැතුව මගේ කතාව අසන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒවා මම තනියමම කරපු දේවල් නෙමෙයි. තවත් කීප දෙනෙක්ම එකතුවයි ඒ දේවල් කෙරුවේ. මේ සදහා අපව මෙහෙයවපු, මෙහෙම ලියපල්ලා, මෙහෙම දාපල්ලා, මේ විදිහට පිංතූර හදපල්ලා කියපු පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔවුන් ගැන මට ලැජ්ජයි. ඔවුන් ඉතාමත් හොද මිනිසුන් විදිහට, සමාජයට මග පෙන්වන මිනිසුන් විදිහට පෙනී සිටින පුද්ගලයෝයි.

සමාජ මාධ්‍යයෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපෝන්සු අපොස්තුළුතුමන්ටත් කටුනායක අප ස්වාමිදූගේ මේ සිද්ධස්ථානයටත් මම අපහාස කරා. ඒ පාපයට මාත් හවුල්කාරයෙක් වුණා. මම මේ හැම දෙයක්ම කියන්නේ මගේ හිතේ මං ගැනම තියෙන වෛරය, දුක ටිකක් හරි අඩු කරගන්න හිතාගෙන. මේ පාපයට මොකක්හරි භවයක දෙවියන්ගෙන් දඩුවම් ලබන්න වෙනවා කියල දැනගනයි මං ජීවත් වෙන්නේ. මාගේ නින්දිත අපහාසයන්ට ලක් වූ මේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව මම මුල් වරට දැක්ක දවස මට තාමත් මතකයි.

මේ අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බලමහිමය පිලිබද විස්තර කරමින් තරමක් හැගීම්බරවූ ප්‍රවීන් ශානක තරුණයා දෑසේ කදුළු සිර කර තබාගැනීමට වෙර දැරුවත් එම උත්සහය අසාර්ථක වුනා. ඔහු කදුළු සලමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දණින් වැටී, උන්වහන්සේගේ දෙපා සිපගත්තේ සියළු දෙනාගේම දෑස් කදුලින් තෙත් කරවමින්. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද ඔහුගේ හිස පිරිමදිනු ලැබුවේ සැබෑම පීතෘක සෙනෙහසින් යුතුවයි.

සිවිල් ඉංජිනේරු ප්‍රවීන් ශානක තරුණ මහතා නැවතත් මයික්‍රෆෝනය රැගෙන කතා කරන්න පටන් ගත්තා. ඔහු මෙලෙසින් ප්‍රකාශ කලා.

මම මෙච්චර උන්වහන්සේට අපහාස කරලත් උන්වහන්සේ මට ආදරයෙන් කතා කරනකොට, මම අසරණ වෙන හැම වෙලාවකම මට පිහිට වෙනකොට, මට හිතෙනවා උන්වහන්සේ මට අනිත් බැතිමතුන්ටත් වඩා ආදරෙයි කියලා. මෙතන ඉන්න කවුරුත් දන්නේ නෑ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මට ගොඩාක් පිහිට වුණා, මම හොදටම අසරණ වෙලා ඉන්න වෙලාවක. ඒ පිහිට මට විතරක් නෙමේ, මගේ පවුලටම බලපානවා. මෙච්චර උන්වහන්සේට අපහාස කරපු පව්කාරයෙකුට කොහොමද උන්වහන්සේ මෙච්චර ආදරය කරන්නේ. මට හිතාගන්නවත් බෑ. මම කිසිම සාක්ෂියක් නැතුව මිනිස්සුන්ගේ බොරු කටකථා අහලා අපහාස කරපු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් මට පිහිට වෙනකොට, මට මං ගැනම ලැජ්ජයි.

සත්‍ය තතු විකෘති කරමින් ෆේස්බුක් පෝස්ට් සෑදීමට ප්‍රවීන් ශානක මහතා කරුණු සොයාගත් ආකාරය ද මෙහි දී හෙළි කරනු ලැබුවේ සියල්ලන් මවිතයට පත් කරවමින්. එම තොරතුරු අනික් අයට ද සපයා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට විවිධ අපහාසයන් එල්ල කිරීමට ඔහු පියවර ගනු ලැබූ අයුරු ද හෙළි කරනු ලැබුවා.

ප්‍රවීන් ශානක මහතා සමග ඔහුගේ පිරිස ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට විරුද්ධව නිරපරාදේ චෝදනා එල්ල කිරීම සඳහාත්, මුළුමනින්ම විකෘති කිරීම සදහා සත්‍ය කරුණු සොයාගෙන ඇත්තේත්, අවුරුදු 15ක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේව මෙහෙයන්ටම පමණක් ස්ව කැමැත්තෙන්ම සහභාගිවන, උන්වහන්සේගේ ධර්ම දේශනයන්ට පමණක් සවන් දෙමින් තම ජීවිතය හැඩගස්වා ගනිමින් සිටින සිය වැඩිමහල් සහෝදරයාගේ කතාවන්ට සවන් දීමෙන් බව ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ ඒ අවස්ථාවේ ඔහුට සවන් දෙමින් සිටි සිය වැඩිමහල් සහෝදරයාව ද මවිත කරමිනුයි. වසර 15ක සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන තම සහෝදරයා සිද්ධස්ථානය පිලිබදව නිවසේදී කියනු ලබන විස්තර අසාගෙන සිට ඒවා සමච්චලයට හරවා සමාජයේ කටකතා ඇතිවන පරිදි රහසේම විකෘති කර ෆේස්බුක් හරහා සමාජ ගත කල බවත්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට සහ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට අපහාස කිරීම සදහා කල්ලිගැසී සිටි පුද්ගලයන්ට ලබාදුන් බවත් ඔහු එහිදී ප්‍රකාශ කරනු ලැබුවා. තව දුරටත් ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ එම අතිතයේදී තමන් විසින් මුලා කරනු ලැබූ මිනිසුන් පිලිබදව තවමත් ඔහු පසුතැවෙන බවත් එම පුද්ගලයන්ට සත්‍ය පවසන්නේ කෙසේද කියා ඔහුට දුක්බර ප්‍රශ්ණාර්තයක් ඇති බවත්ය.

ඉතා දීර්ඝව තමා කල නොහොබිනා ක්‍රියාව විස්තර කරමින් ප්‍රවීන් ශානක මහතා තවත් අපූරු සිද්ධියක් හෙලි කරනු ලැබුවා. ඒ විවාහයෙන් පසුව අවුරුදු ගණනාවක් ගතවීත් දරු ඵල අහිමිව සිටි කාන්තාවක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සතිපතා සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වීමෙන් පිහිට ලබා කුඩා දරුවකුගේ අම්මා කෙනෙකු වූ බවත්, නමුත් පිහිට ලැබූ මේ කාන්තාවගේ මව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබදව අසත්‍ය කතාවක් ඇතුලත් පෝස්ට් එකක් දැක, පිහිට ලැබූ කුඩා දරුවාගේ මව වූ සිය දියණියට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට නොයන ලෙස බලකර ඇයගේ ගමන නවතනු ලැබූ බවත්ය. එහෙත් කණගාටුවට කරුණ වන්නේ එම අසත්‍ය ෆේස්බුක් පෝස්ට්එක නිර්මාණය කරනු ලැබුවේ ප්‍රවීන් ශානක මහතා විසින්ම බවත් කියා සිටියා. මේ තමා දන්න පිරිසක් බවත් පැවසූ ඔහු, තව නොදන්නා කොතරම් දෙනෙක් තමාගේ මඩ ප්‍රචාරය විශ්වාස කර නොමග යන්නට ඇතිදැයි කල්පනා කරන විට, ස්ථීර ලෙසම කවදාක හෝ මේ කල අපරාධයට තමාට දඩුවම් විදින්නට සිදුවන බවත් කියා සිටි අතර, කෙසේ වෙතත් තමන් ලැබූ පිහිට අමතක කල ඒ කාන්තාවගේ කුහක ගතියට ඇය ද විපාකය අත්කර ගන්නා බව ද කියා සිටියා.

වැඩි දුරටත් තම වේදනාබර හඩ අවදි කරවමින් ප්‍රවීන් ශානක මහතා මෙලෙසින් ද පවසනු ලැබුවා. මම මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට නොසෑහෙන්න අපහාස කලා, නින්දා කලා. නමුත් අවුරුදු 15ක සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ බැතිමතෙකු බවට පත්වී සිටින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට සතියේ දිනවලත් රැයක් දවාලක් නොබලා යන මගේ වැඩිමහල් සහෝදරයා ගෙදර ඇවිත් අන්අය සමග කියන මහා පුදුමාකාර කතා ගැන ඇත්ත නැත්ත සොයා බැලිය යුතුයි කියලා මටම හිතුනා. මගේ සහෝදරයා මේ කියන දේවල් ඇත්ත නම්, මම කරන්නේ අපරාධයක් නේද කියලා මගේ හිත කිව්වා. ඒ නිසා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සොයාගෙන මම ආවා. එදා හරිම පුදුම දවසක්. එදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා බැතිමතුන් අතරට පැමිණ බැතිමතුන්ව ආශිර්වාද කලා. උන්වහන්සේ වෙතට යන දිගු පෝලිමට මමත් එකතු වුනා. මගේ අවස්ථාව ආවා. මම උන්වහන්සේ වෙත යත්දී ඈත තියාම උන්වහන්සේ සිනහ මුසු මුහුණින්, මා වෙත සිය දෝත් දිගු කලේ මා එනතුරු බලා සිටියා වගෙයි. මේ වෙලාවේ මට සිද්ධ වුනේ මහා පුදුම දෙයක්. සාවුල්ට ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වූ අවස්ථාව වගෙයි. ක්‍රිස්තුස් වහන්සේට නින්දා කරමින් අපහාස කරමින්, ක්‍රිස්තියාණින්ව මරා දමමින් හිටපු සාවුල්ට ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වුනා. ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ දැක ගැනීමත් සමගම සාවුල් වෙනස් වුනා. සත්‍ය අවබෝධ වුනා. තම ජීවිතය විතරක් නෙමෙයි, නමත් වෙනස් කලා. සාවුල්, පාවුළු බවට පත් වුනා. මටත් වුනේ ඒ ටිකමයි.

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුරේ සිට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිට දී ම, රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රවීන් ශානක මහතා කියා සිටියේ, ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළුතුමන්ගේ ජීවත කතාව නිරන්තරයෙන් ඔහුට සිහිපත් වන බවත්, ක්‍රිස්තියාණීන්ට වෛර කල පාවුළු අපොස්තුළුතුමන් ක්‍රිස්තුස්වහන්සේගේ හඩ ඇසූ මොහොතේ පටන් තමන්ගේ මුළු අධ්‍යාත්මයම කණපිට පෙරළුන බවත් ය.

තමන් විසින්ම සත්‍ය සොයාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණීම, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමුවීම තම අධ්‍යාත්මයේ හැරවුම් ලක්ශ්‍යක් වූ බවයි ප්‍රවීන් ශානක පෙරේරා මහතා අවසාන වශයෙන් සදහන් කරනු ලැබුවේ.

August 9th, 2020

Posted In:

දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම ඔහු රෝමාණු කතෝලිකයෙක්. ඒ කතාවට මූලිකම හේතුව වුනේ, අගෝස්තු මාසයේ එක්තරා පල්ලියකට වන්දනා චාරිකාවකට ඔහුත් සමග එක්වන ලෙස කරනු ලැබූ ඉල්ලීම මා විසින් එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමයි. එම ආරාධනය ප්‍රතික්ෂේප කිරීමට හේතුව වුනේ, මමත් මගේ බිරිදත් දරුවන් දෙදෙනාත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය හැරුනුකොට වෙනත් කිසිදු සිද්ධස්ථානයකට පල්ලියකට නොයන බවට අපගේම නිදහස් කැමැත්තෙන් තීරණය කරගෙන සිටීමයි.

 

මාගේ මිතුරා ඇසූ පළමු ප්‍රශ්නය වුනේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තිබෙන වැදගත් කම එහෙමත් නැත්නම් සුවිශේෂත්වය කුමක්ද යන්නයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ඇති විශේෂත්වය සුවිශේෂත්ය කුමක්ද කියා පැයකින් දෙකකින් හෝ මෙවැනි කෙටි සටහනකින් හෝ විස්තර කිරීම දුෂ්කර වූවත් මම මගේ මිතුරාට යම් පැහැදිලි කිරීමක් කලෙමි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය කියන්නෙ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ස්වර්ගාරෝහණයෙන් පසුව, දෙවන වරටත් දර්ශනය වෙලා අපොස්තුළුතුමෙක් පත්කරනු ලැබූ සිද්ධස්ථානයයි. ඒ ජේසු තුමන්ගේ දස සතරවෙනි අපොස්තුළු තුමා. එම අපොස්තුළුතුමා තමත් ජීවතුන් අතරයි, අප අතරයි. එම අපොස්තුළුතුමා අදටත් ජීවත්ව සිටින්නේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේයි. ඒ බව සවිස්තරව මම මිතුරාට පැහැදිලි කර දුන්නා. ඒ වගේම මරිය තුමිය 23 වතාවක්, ඒ අපෝස්තුළුතුමාට දර්ශනය වෙච්ච ස්ථානයත්, කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය බව මා මගේ මිතුරාව දැනුවත් කලා. ඉතින් මේ සියල්ලක් විශ්වාස කරන මට, මේ පොළව මත කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටත් වඩා, යාමට සුදුසු තවත් ස්ථානයක් නැති බව මගේ ම හිත කියත් දී, මගේ හෘද සාක්ෂියට එකඟව, මගේ හිතේ ඇඳී ඇති පූජනීයම සිද්ධස්ථානය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය බව මිතුරාට පැවසුවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය සම්බන්ධව ඇති එකම සුවිශේෂී කරුණු දෙක මෙය නොවන බවත්, තවත් කියන්ට හැකි සුවිශේෂී කරණු රැසක්ම තිබෙන බවත් මම පැවසුවා.

 

ඉන්පසු ඔහුගේ ප්‍රශ්නය වුනේ අපෝස්තුළුවරයෙක් කියන්නේ කවුද යන්නයි. රෝමාණු කතෝලිකයෙක් වන ඔහු ‛‛අපොස්තුළුවරු’’ යන වචනය අසා ඇතත්, ‛‛අපොස්තුළුවරයෙක්’’ කියන්නේ කාටදැයි හරිටම නොදන්නා බව පැවසූ විට මම පුදුම වුනා. මේ ප්‍රශ්නය මගේ මිතුරා අද මගෙන් ඇසුවා. නමුත් මේ ගැන නොදන්න පිරිස අති විශාලයි. ඒ නිසා පුදුම වෙන්න දේකුත් නැහැ. ඇත්තටම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමු නොවූවා නම් මම ද ඒ තත්වයේමයි.

 

අපෝස්තුළුවරය කියන්නෙ නිකන්ම නිකන් පදවියක් නෙමෙයි. අපොස්තුළුවරය කියන්නෙ දිව්‍යමය පත්වීමක්. ඒ පත්වීම ප්‍රධානය කරන්නට පුළුවන් වන්නේ එකම එක එක්කෙනෙකුට විතරයි. ඒ එකම එක්කෙනා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව සිටි කාලයේ අපෝස්තුළුවරුන් 12 දෙනෙකු පත් කලා. උන්වහන්සේගේ මරණයෙන් පසු, උන්වහන්සේගේ ස්වර්ගාරෝහනයෙන් පස්සේ දර්ශනය වෙලා, උන්වහන්සේගේ 13 වන අපෝස්තුළුතුමා වූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමන්ව සිරියාවේ දමස්කස් නුවරදී පත්කරනු ලැබුවා. එලෙසින්ම 1975 පෙබරවාරි 07 වනදා ශ්‍රී ලංකාවේ කටුනායක දී දර්ශනය වෙලා උන්වහන්සේගේ අපෝස්තුළුවර කණ්ඩායමේ 14 වන අපෝස්තුළුතුමා හැටියට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමාව පත්කරනු ලැබුවා. එය කරන්නට පුළුවන් එකම කෙනා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත දෙවන වරටත් මේ ලෝකයට දර්ශණය වුනා. හේතුව අපොස්තුළුවරය දානය කිරීමට බලය ඇත්තේ, අපොස්තුළුවරයට යමෙකුව තෝරා ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින්ම පමණයි.

 

මේ දේවල් ඇසුවාම මගේ මිතුරාත් හරිම පුදුම වුනා. මේ වෙනකම් ඔහු අපෝස්තුළුතුමෙක් කියන්නෙ කවුද කියලා දැනගෙන හිටියෙ නැහැ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ට යනකම් මමත් ඒ බව දැනගෙන නොසිටි බව මම පැහැදිලි කර දුන්නා. ඔහු සමග කතාකරමින් සිටින විට මට තේරුම් ගිය මූලිකම කාරණාව තමයි විවිධ කිතුනු සභාවල පූජකයන්, ඔවුන්ගේ අනුගාමිකයන්, කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය ගැනත්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමා ගැනත්, මොන තරම් බොරු කියා, මේ වන විටත් ජනතාව මුලා කර තිබෙනවාද, තව දුරටත් මුලා කරමින් සිටිනවාද යන වගයි.

 

මැරුණ ගමන් ස්වර්ගය සහ අපාය යන ස්ථාන දෙකෙන් එකක් වෙත අප යන බව, කුඩා කල සිට දැන සිටියේ, ස්වර්ගයවත් අපායවත් ඇසින් දැක නොමැති, තවත් අයෙකුගේ කීමක් විශ්වාස කරනු ලැබූ පුද්ගලයන්, එවැන්නක් අපට ඉගැන්වූ නිසයි. ඒ විතරක් නෙමෙයි, ප්‍රසාදස්නාපනය නොලැබ මිය යන කුඩා දරුවන් පාතාල ලෝකයකට යන බවක් ද ඔවුන් අපට ඉගැන්වූවා. එසේනම් අප රටේ බෞද්ධයන් ද මරණයෙන් පසු පාතාල ලෝකයට යනවාද, එසේ වන්නේ නම් පාතාල ලෝකයට යන බෞද්ධයන් ඇසුරු කිරීම වරදක් ද කියා, මෙවැනි බොරු බේගල් අපට ඉගැන්වූ රෝමාණු කතෝලික පූජක, ගුරුවරු සොයා යන්නට මට සිතෙනවා.

 

කරුණු කාරණා එසේ වූවත්, මරණයෙන් පසු ජීවිතයක් ඇති බව, නැවත ඉපදීමක් ඇති බව, සිතන්නටත්, එය ආගම් අනුව වෙනස් නොවන බව කල්පනා කරන්නටත්, ඒ නිසාම වැටී සිටි ලිඳේ, මේ ලිං කටෙන් ගොඩ ඒමටත්, මම ආරම්භ කලේ කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානය වෙත ගොස් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපෝස්තුළුතුමන්ගෙන් ධර්මය ඇසීමට පටන් ගත්තාට පසුවයි. මේ සියල්ලක් මම වැඩිදුරටත් මගේ අතිජාත මිත්‍රයාට පැහැදිලි කර දුන්නා.

 

මේ කතාබහ අවසානයේ ඔහු මගෙන් ඇසුවා මේ ස්ථානයට ගිහින් මට මොනවද ලැබුණෙ කියලා.

 

කියන්න සන්තෝශයි මට නැවත ඉපදීමක් නොලබා ස්වර්ග රාජ්‍යය ලබා ගන්නට ජීවත් විය යුතු ආකාරය මට දැන ගන්නට ලැබුණා. ඒකට හොඳම ගුරුවරයා මට හඳුනාගන්නට ලැබුණා. මම අළුතෙන් හිතන්නට පුරුදු වුනා. මම අළුත්ම මිනිහෙක් වෙන්නට පටන් ගත්තා. මම ඔහුට පැහැදිළි කලා.

 

ඒ විතරක් නෙමෙයි මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පමණක් මම යන නිසා මට නොලැබෙන එකම දෙයත් මම ඔහුට පැහැදිලි කර දුන්නා.

 

ඒ වෙන මොනවත් ම නෙමෙයි, මැරුණම වැලලෙන්න රෝමාණු කතෝලික පල්ලියෙ මිනි පිට්ටනිය විතරක් මට නැතුව ගිය බවත්, මිනී පිට්ටනිය වෙනුවෙන් බොරු ඉගැන්වීම් පසුපස ගිහින් ජීවිත ගමනේ අතරමං වනවාට වඩා. මහ පොළොවේ කොහේ හෝ වැලලිලා නැවත උපතක් නොලබා ස්වර්ග රාජ්‍යයේ හොද ස්ථානයකට යන එක වඩා හොද බව මම ඔහුට කියා දුන්නා. රෝමාණු කතෝලික පල්ලියේ පවුල් පොතක් මට දැන් නැතත්, පිං පවු පොතක් තිබෙන බවත්, මගේ ජීවිතය අවසානයේ මට වටින්නේ එය බවත්, මම මිතුරාට පැහැදිලි කර දුන්නා.

 

මෙතෙක් වෙලා මගෙන් ප්‍රශ්න අසමින් සිටි මගෙ අතිජාත මිත්‍රයාට අවසාන ප්‍රශ්නය මා විසින් යොමු කලා. එය ප්‍රශ්නයකට වඩා ඔහුට කටුනායක සිද්ධස්ථානය ගැන මීටත් වඩා අවබෝධයක් ලබාගැනීමට අවස්ථාව ක් සලසා දෙන්නයි මට වුවමනා වුනේ. මම ඔහුගෙන් ඇහුවා ඇයි කටුනායක අප ස්වාමිදුවගේ සිද්ධස්ථානයට ඇවිත් බලන්නෙ නැත්තේ කියලා.

 

ඔහු මා දෙස ටිකක් බලං ඉඳලා සිනාසෙමින් කිව්වා, අපේ ගෙදර මිනිස්සුන්ට යි මටයි රෝමාණු කතෝලික පල්ලියෙ පිට්ටනිය නැතිකරන්න ද හදන්නෙ කියලා. ඔය පල්ලියට යනවා කියලා අපේ පල්ලියෙ ෆාදර් දැන් ගත්තොත් අපේ පවුල් පොතත් ඉරලා දායි කියලා කිවුවා. නිතරම දිව්‍ය පූජාවන් වල දේශනාවෙදිත් මේ කටුනායක පල්ලියට යන්න එපා කියලා දැනුවත් කරන බවත් ඔහු කිවුවා.

 

අන්තවාදී යයි කියන්නේ මෙය නොවේදැයි මම සිතුවා. ආගමීක නිදහස, මානව හිමිකම් යනු කුමක් ද කියා මම සිතුවා. මමත් මගේ බිරිදත් දරුවන් දෙදෙනාත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය හැරුනුකොට වෙනත් කිසිදු සිද්ධස්ථානයකට, පල්ලියකට නොයන බවට අපගේම නිදහස් කැමැත්තෙන් තීරණය කරගෙන සිටියත්, අපේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කියන්නේ, ඔයගොල්ලෝ කැමති ඕනෑම පල්ලියකට යන්න. පෝය දවසට රූපවාහිනියෙන් බෞද්ධ හාමුරුවරුන්ගේ ධර්ම දේශනා අහන්න. හැකිනම් පන්සලකට ගොස් ධර්ම දේශණයකට සවන් දෙන්න. සෑම දෙයක් ම දැනගන්න. ලිඳේ ඉන්න මැඩියන් බවට පත් නොවී, කිසිවෙකුගේ වහලෙක් නොවී, අළුතෙන්ම සිතන්නට පටන් ගන්න කියලයි. නිවැරදි යයි ඔබට සිතෙන දේ අල්ලා ගන්න කියලයි. ඒ අනුව මෙවර වෙසක් පෝය දිනයේ අපි පන්සලකට ගොස් ධර්ම දේශණයකට සවන් දුන්නා. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙවර වෙසක් පණිවිඩයෙන් ඉල්ලීමක් කර තිබුනේ ද, වෙසක් දිනයේ ආගම් භේදයෙන් තොරව සියළු දෙනා පන්සලකට ගොස් අඩු තරමින් ධර්ම දේශණයකටවත් සවන් දෙන්න කියලයි. ඒ අනුව උන්වහන්සේ කොතරම් පුළුල් දැක්මකින් අනුශාසනා කරනවාද, මගේ පල්ලියට හැර වෙනත් කිසිම පල්ලිකට යාම තහනම් කියලා උන්වහන්සේ කියන්නේ නැහැ.

 

කෙසේ වෙතත් අද කිතුනු සභාවල තත්වය පැහැදිලියි නේද? මිනිසුන් මුලා කරමින්, රවටමින්, මිනිසුන් භය කරමින්, මිනිසුන්ට තර්ජනය කරමින්, ආගමීක නිදහස, මානව හිමිකම් ගැන දොඩවන වචන රාශියේ පැහැදිළි අර්ථය මොකක්ද? ඔවුන් මේ සැරසෙන්නේ කුමකටද?

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තවමත් මේ ලෝකය දෙස බලා සිටින බව අප කොයි කවුරුත් අමතක නොකල යුතුයි. ස්වර්ගය ට යන මාර්ගය පල්ලියෙ මිනි පිට්ටනිය නොවන බව අප සියළු දෙනා තේරුම් ගත යුතුයි. නමුත් ඒ සඳහා මොලයක් තිබිය යුතුවාක් මෙන්ම, ඒ මොළය ඔළුවේ ම තිබිය යුතුයි. ඒ නිසා පල්ලියෙ මිනි පිට්ටනිය යනු ස්වර්ගයට යන මාර්ගය නොවන බව නුවනින් සිතන්නට සියලු ක්‍රිස්තියානින් ට ඉඩ ප්‍රස්තාව ලැබේවා යන්න මාගේ එකම ප්‍රාර්ථනයයි.

 

සුරේන් චතුරංග ප්‍රනාන්දු

සීදූව

September 6th, 2019

Posted In:

නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම නොකඩවා පිචිච මල් සුගන්ධය පැතිරීමයි.

මේ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පසු දින වූ ජූලි 28 වෙනි ඉරුදින සවස බැතිමතුන් පිරිසක් අමතමින් මෙලෙස විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

‛‛ඊයේ (ජූලි 27 වෙනි දා) සවස අප සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල සිදුවූ අසිරිමත් සිදුවීම පිළිබදව ප්‍රථමයෙන් මම නිර්මල කන්‍ය මරිය මාතාවන්ට ස්තූති වන්ත වෙනවා. දර්ශණ දෙව්මැදුර තුල ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති, ජේසු බිළිදුන් සිය වම් හස්තයේ රඳවා ගෙන වැඩ සිටින අප නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව, දර්ශණ දෙව් මැදුරේ ස්ථාපිත ප්‍රධාන ප්‍රතිමාවයි. එම ප්‍රතිමාවෙන් ඔයගොල්ලෝ සියළු දෙනාටම සිහි ගන්වන්නේ නිර්මල කන්‍ය මරිය තුමිය දසඅට වන වරට මා ඉදිරියේ දර්ශණය වූ විලාශයයි. එම දර්ශණය සිදුවුනේ 1977 ජූලි 27 වෙනි දා. හරියටම අවුරුදු හතලිස් දෙකකට ප්‍රථමයෙන්. මේ වන විට නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් මා ඉදිරියේ දර්ශණය වී තිබෙනවා. 1977 ජූලි 27 වෙනි දා එතුමිය මා ඉදිරියේ දර්ශණය වුනේ ජේසු බිළිදුන් ද අත ඇතිවයි. අනික් සියළු දර්ශණ සිදුවුනේ එතුමිය තනිවයි. කහ පැහැති රෝසමල් මත, හිසේ සිට පාදයන් හි විළුඹ දක්වා දිග හිම මෙන් බබලන සුදු පැහැති වේල් එකක් පැළඳ ගෙන, එවැනිම හිම මෙන් සුදු පැහැයෙන් යුතු ලෝගුවක් පැළඳගෙන, පැහැයෙන් අහසේ නිල් පැහැයෙන් යුතු, නමුත් හිම මෙන් බබලන නිල් පැහැති බඳ පටියක් පලඳා, දකුණු අතේ වැලමිට හරියෙන් රත්තරන් පාට බැබලෙන ජපමාලයක් දරාගෙන තමයි එතුමිය මා ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් 1977 ජූලි 27 වෙනි දිනත් එතුමිය මා ඉදිරියේ එලෙස පෙනී සිටියත්, මේ වනතුරු එදින පමණක් විශේෂත්වයක් තිබුණා. එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදාණන් සිටියා.’’

නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිදාණන් සමගින් දර්ශණය වූ විලාශය සිය මතකය අවුරුදු හතලිස් දෙකකට පසුව අවදි කරවමින් විස්තර කරනා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට මහත් බැතියෙන් සවන් දෙමින් සිටිනා බැතිමතුන් අමතමින් උන්වහන්සේ තව දුරටත් මෙලෙසින් පවසනු ලැබුවා.

‛‛නව දර්ශණ දෙව් මැදුර ප්‍රතිසංස්කරණය කර විවෘත කරනු ලැබුවේ පසුගිය වසරේ (2018) අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවසයි. දැන් අවුරුද්දකට ආසන්නයි. මෙම නව දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන දෙව් මවු ප්‍රතිමාව ලෙස, නිර්මල කන්‍ය මරිය තුමිය ජේසු බිළිදාණන් සමග දර්ශණය වූ විලාසය දැක්වෙන ප්‍රතිමාවක් ස්ථාපිත කල යුතු යයි මම තීරණය කලා. ඒ අනුව තනනු ලැබූ දෙව් මවු ජේසු බිළිදුන් අත දරා සිටින ප්‍රතිමාව දර්ශණ දෙව් මැදුර තුල දැන් ස්ථාපිත කර තිබෙන්නේත්, ඒ ආකාරයෙන් එතුමිය දර්ශණ වූ ස්ථානයේයි.’’

1977 ජූලි 27 වෙනි දින සිදුවූ දෙව් මවු දර්ශණයට වසර හතළිස් දෙකක් සපිරුණ 2019 ජූලි 27 වෙනි දින එම දර්ශණය සිහිපත් කිරීමට තැනූ ප්‍රතිමාවෙන් ඉතාමත් පුදුමාකාර ලෙසින් පිච්ච මල් සුගන්ධය විහිදීම පිළිබදව ද සුදොතුම් අපොස්තුළුතුමා සිය අදහස් මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවා.

‛‛ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව දැනට අවුරුද්දකට ආසන්න කාලයකට පෙර විවෘත කරනු ලැබූ දර්ශණ දෙව්මැදුරෙන් පිච්ච මල් සුගන්ධය දසත පැතිරුණ ප්‍රථම අවස්ථාවයි මේ. මෙම සිද්ධස්ථානයට පිච්ච මල් සුගන්ධය අමුතුම දෙයක් නොවෙයි. මරිය තුමී එතුමියගේ අතට ගත් අපොස්තලික මුදුවෙන් නොකඩවා අදටත් පිච්ච මල් සුගන්ධය පැතිරෙනවා, එයින් පැතිරෙන පිච්ච මල් සුගන්ධය සැතපුම් ගණනාවක් ඈත සිටින බැතිමතුන්ටත් දැනී තිබෙනවා. ඔයගොල්ලන්ගේ ගෙවල්වලටත් මේ මිහිරි සුගන්ධය දැනී තිබෙනවා. ඔයගොල්ලෝ ඊට හොදම සාක්ෂිකරුවෝ. මරිය තුමිය අතට ගත්, එතුමියගේම ආශ්චර්‍යමත් ප්‍රතිමාව තුලින් විහිදෙන පිච්ච මල් සුගන්ධය ගැනත් ඔයගොල්ලන්ට වසර ගණනාවක අත්දැකීම් තියෙනවා. පැරණි දර්ශණ දෙව්මැදුරෙනුත් පිච්ච මල් සුගන්ධය පැතිරී තිබෙනවා. නමුත් ඊයේ (ජූලි 27 වෙනිදා) නව දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන දෙව් මවු ප්‍රතිමාවෙන් පැතිරුණ සුගන්ධය ඉතාමත් අධිකයි. මේ මිහිරි පිච්ච මල් සුගන්ධය දර්ශණ දෙව් මැදුර තුලට පමණක් සීමා වුනේ නැහැ. සම්පූර්ණ සිද්ධස්ථාන භූමියටත්, ශු. පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනටත් පැතිරුනා. ඒ විතරක් නොවෙයි, සිද්ධස්ථාන භූමියෙන් පිටත මහා මාර්ගයේ වම් පැත්තටත්, දකුණු පැත්තටත් මීටර් සියයක් පමණ දුරකටත් මේ මහා පිච්ච මල් සුගන්ධය දැනුන බව අපට දැනගන්නට ලැබුණා. ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්.’’

තව දුරටත් බැතිමතුන් අමතා කතා කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අවසාන වශයෙන් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

‛‛දශක සතරකටත් වැඩි කාලයක අපට විදින්නට නොහැකි වූ ඉතා මිහිරි අධික පිච්ච මල් සුගන්ධයක් ඊයේ (ජූලි 27 වෙනිදා) දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන දෙව් මවු ප්‍රතිමාවෙන් නිකුත් වුනා. මම හිතන විදිහට මෙම සිද්ධියෙන් නිර්මල මරිය තුමී අපට පණිවිඩ තුනක් දෙනවා. පළමුවැන්න, එතුමියගේම ඉල්ලීමක් සම්පූර්ණ කරමින් තැනුවා වූ මේ දර්ශණ දෙව් මැදුර එතුමිය පිළිගන්නා බව සහ මෙම දර්ශණ දෙව් මැදුරට එතුමිය ප්‍රිය කරන බවයි. දෙවැන්න, දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිතව ඇති ජේසු බිළිදු වඩවා ගත් එතුමියගේ ප්‍රතිමාවට දෙව් මවුන් කැමති බවයි. තුන්වැන්න මම කියන්නේ නැහැ. මගේ සිත තුල ම තියා ගන්නවා. නමුත් කිව යුතු සුදුසු වේලාවක් ආවොත් මම එය ඔයගොල්ලන්ට කියනවා. මෙම දර්ශණ දෙව් මැදුර සැලසුම් කලේ, මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු මෙහෙයවනු ලැබුවේ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතායි. ඒ මහතාගේ මහන්සිය මෙලෙස දෙව් මවුන් විසින් අගය කරනු ලැබීම ගැන අප සියල්ලන්ටම වඩා ඒ මහතා සතුටු වෙනවා ඇති.’’

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජූලි 28 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී බැතිමතුන් අමතනු ලැබූ අයුරුත්, ජූලි 27 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැදුර තුල පිච්ච මල් සුගන්ධය දසත පැතිරී ගිය අවස්ථාවේ දී සැදැහැවතුන් දර්ශණ දෙව් මැඳුර තුල යාච්ඤා කරන අයුරුත් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි

 

 

September 6th, 2019

Posted In:

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා. නත්තලට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ගවලෙන ළඟට යනවා. ඊට පස්සේ තව මාස කිහිපයකින් උන්වහන්සේගේ මරණය සමරමින් කුරුසේ ළඟට යනවා. ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි. ඕක තමයි ජීවිතේ. ඕක තමයි ක්‍රිස්තියානිකම. ඕක තමයි කිතුනුකම. ඕක තමයි ක්‍රිස්තු භක්තිකකම.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ඉහත සදහන් ප්‍රකාශය කරනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරයේ දී සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.
දර්ශණ දෙව්මැදුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි සැදැහැවතුන් අමතා තව දුරටත් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, ක්‍රිස්තියාණින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවල, පින්තුරවල, ඇති උන්වහන්සේගේ මුහුණට ‛ශ්‍රී මුහුණ’ යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ, ක්‍රිස්තුස් වහන්සේ ලේ පෙරාගෙන, කටු ඔටුන්නක් දරාගෙන, දත් කඩාගෙන වේදනාවෙන් ඉන්න මුහුණ දැක්කොත් එම මුහුණට පමණක් බවත් ය. එසේනම් මේ ජේසු බිළිදාණන්ගේ මුහුණ, ශ්‍රී මුහුණ නොවන්නේ දැයි ප්‍රශ්ණයක් මතුකල අප ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්, කියා සිටියේ ඉපදුන වේලාවේත් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ශ්‍රී මුහුණ බවත්, උන්වහන්සේ මියයන විටත් එම මුහුණ ශ්‍රී මුහුණ බවත් ය.

 

 

2018 දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.45 ට නත්තල් දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූ අතර, කුඩා අත දරුවන් ද, තරුණයන් ද, මහළු වයසේ පසුවන්නන් ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයට ඉමහත් බැතියෙන් සහභාගි වන අයුරු දැක ගැනීමට හැකි වූ අතර, ඒ මධ්‍යම රාත්‍රියේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ මුවින් නික්මෙන වදන්වලට සවන් දී සිටියේ දැඩි ශ්‍රද්ධාවකිනි.

 

ක්‍රිස්තුස් වහන්සේගේ දහම ඇත්තේ ගවහලත් කල්වාරියත් අතර බව පවසනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, බොහෝ ක්‍රිස්තියාණින් තම ජීවිතය පුරාවටම ගවහල ලගට දුවගෙන ගොස් ඊලගට කල්වාරිය වෙත දුවගෙන යන බවත්, ඒ අතර ඇති දහම තුල රැදෙන්නේ නැති බවත් ප්‍රකාශ කල සේක. ගවහල ලගට ගොස්, සාන්ත රැයේ නිසසල රැයේ කිය කියා සිට, තවත් දවසක කුරුසිය ලගට ගොස් ‛ජේසුනී අපි ඔබට සැනසීම දෙමු’ යි කිය කියා ජේසුස් ස්වාමින් වහන්සේව රවට්ටන බවත් පවසා, ක්‍රිස්තියාණිකම යනු එයදැයි ප්‍රශ්ණ කල අතර, මේ අයුරින් ගැලවීම ලබන්නේ කෙසේ දැ යි උන්වහන්සේ වැඩිදුරටත් අසා සිටි සේක.

July 31st, 2019

Posted In:

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් වාර්තාවන තවත් ප්‍රාතිහාර්‍යාත්මක පුවතක්

 

මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක සිටයි. දේව මෑණියන් විසිතුන් වතාවක් දර්ශනය වී ඇති මේ සිද්ධස්ථානයේ වැඩ වසන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන්, මැදිහත්කමින් මගේ ජීවිතයට ලැබී ඇති වරප්‍රසාද කියා නිම කල නොහැක. සෑම සෙනසුරාදාවකම හාස්කම් යාච්ඤාවට ජීවමාන සලකුණු පෙන්වන දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ සහභාගි වීමට මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ ගොඩක් භක්තියකින්. ඒත් මේ කතාව මම විතරක් නෙමේයි, මීගමුව මහ රෝහලේ වෛද්‍යවරුන්ව පවා පුදුම කල සිද්ධියක්.

 

මගේ වැඩිමහල් සොහොයුරියගේ වයස අවුරුදු 36 කි. ඇය විවාහ වී සිටින්නේ බෞද්ධ පුද්ගලයකු සමග වන අතර, මේ වන විට ඇයට දරුවන් දෙදෙනෙකු සිටියි. 2017 අගෝස්තු මාසයේ ඇයගේ උගුරේ තරමක් රිදුම් දෙන තත්ත්වයක් ඇති වුනා. මේ තත්ත්වය ටිකෙන් ටික වැඩි වෙන්නට පටන් ගත්තා. ටික කාලයක් ගත වන විට උගුර අල්ලන්නවත් බැරි විදියට රිදෙන්න පටන් ගත්තා. පසුව ඇය වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ගැනීමට ගිය විට ඔහු පවසා තිබුනේ, මෙය උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට පෙන්වන ලෙසයි. ඒ පැවසු ලෙස ඇය උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු චැනල් කර මේ තත්ත්වය පෙන්වා තිබුනා. පසුව වෛද්‍යවරයා බෙහෙත් දී තිබුන අතර උගුරේ කැක්කුම අඩු වුනා. නමුත් ටික දවසක් යන විට ඇයගේ උගුර අල්ලන විට පොඩි ගෙඩියක් වැනි දෙයක් අහුවෙන්නට පටන් ගත්තා. මේ තත්ත්වය ගැන ටිකක් භය වූ ඇය, නැවතත් උගුර සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුට මේ තත්ත්වය පෙන්වූ විට ඔහු පවසා තිබුනේ උගුරේ කුද්දැටියක් ඇති බවයි. නමුත් මේ ගෙඩිය අඩු නොවන නිසා රාගම, ලීසන්ස් රෝහලේ වෛද්‍යවරයෙකුට මේ තත්ත්වය පෙන්නුවා. ඔහු පවසා තිබුනේ මේ සඳහා ස්කෑන් එකක් කල යුතු බවයි. ඔහු පැවසූ පරිදි ඇය ස්කෑන් එකක් කරගෙන වෛද්‍යවරයාට පෙන්වූ විට වෛද්‍යවරයා පවසා තිබුනේ උගුරේ ගෙඩියක් ඇති බවත්, එය කපා ඉවත් කල යුතු බවත්ය. මේ සඳහා ශල්‍යකර්මයක් කිරීමට සිදු වන බවත්ය. රාගම රෝහලේ මේ ශල්‍යකර්මය කරනවානම් එයට ටික කාලයක් ගත වන නිසා, මීගමුව මහ රෝහලෙන් මේ ශල්‍යකර්මය සිදු කර ගන්නා ලෙස මේ වෛද්‍යවරයා ඇයට උපදෙස් දී තිබුනා. ඒ නිසා ඇයව වෛද්‍යවරයා විසින් මේ කාර්‍යය සිදු කර ගැනීමට පහසු වන පරිදි වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කර ලිපියක් ලබා දී තිබුනා.

 

පසුව, දැනුම් දුන් පරිදි කොළඹ, නවලෝක රෝහලෙන් මේ වෛද්‍යවරයාව චැනල් කර තමන්ව යොමු කල ඒ ලිපිය මේ වෛද්‍යවරයාට පෙන්වූ පසු වෛද්‍යවරයා ඇයව පරීක්‍ෂා කර, ස්කෑන් රිපෝට් ටික අධීක්‍ෂණය කර, ඇයට පවසා තිබුනේ මීගමුව මහ රෝහලේ පවත්වන සායනයට පැමිණෙන ලෙසයි. දැනුම් දුන් ලෙස ඇය මීගමුව මහ රෝහලේ පැවැත්වෙන සායනයට ගිය පසු ඇයට දන්වා තිබුනේ 2018 ජනවාරි 15 වන දින මේ ගෙඩිය ඉවත් කිරීමට ශල්‍යකර්මය සිදු කරන බැවින් ඒ සඳහා එදින රෝහලට ඇතුලත් වන ලෙසයි. මගේ අක්කා වෘත්තියෙන් ගුරුවරියක්, මේ නිසාම ඇයට තිබු එකම බිය වූයේ මේ සැත්කම නිසා ඇයට ගුරු වෘත්තියේ යෙදීමට ගැටළුවක් මතු වේද යන්නයි. මන්ද ගුරු වෘත්තියේදී නිතරම කථා කිරීමට සිදු වන නිසයි.

 

සැත්කම කිරීමට තව මාසයක පමණ කාලයක් තිබුනා. මගේ හිතේ දැඩි විශ්වාසයක් තිබුනා අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මැදිහත්කමින් කටුනායක දේව මෑණියන්ගේ ආශිර්වාදයෙන් මේ ගැටළුව සඳහා පිහිටක් ලබා ගත හැකි බව. මොකද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් යනු මේ ලෝකය තුල වැඩ වසන බලවත්ම අධ්‍යාත්මීක නායකයාණන් වහන්සේ බව මම දන්නවා. පුරා දශකයකටත් වැඩි කාලයක් පුරා මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගි වන මා, මේ අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදය ලබා ගන්නා මා, උන්වහන්සේගේ දිව්‍යමය බලය හොඳට දන්නවා. මිනිස් අතකින් සිදු කල නොහැකි මහා ප්‍රාතිහාර්‍යයන් මගින් උන්වහන්සේගේ මැදිහත්කම පතා පැමිණෙන බැතිමතුන්ට අසිරිමත් ලෙස පිහිට වූ ආකාරය මම දැක තිබෙනවා.

 

දිනපතා සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවැත්වෙන හාස්කම් යාච්ඤාවට සහභාගි වී මේ ඉල්ලීම, ඉල්ලීම් පත්‍රිකාවක ලියා අදටත් ජීවමාන සලකුණු දක්වන දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කරමින් ඉල්ලා සිටියේ මගේ අක්කාගේ උගුරේ ඇති වී තිබෙන මේ ගෙඩිය සුවපත් කර දෙන ලෙසයි. පසුව මහත් වූ විශ්වාසයකින් මම ඉල්ලීම් ලිපිය හාස්කම් යාච්ඤාව අවසානයේ රතු පෙට්ටියට දැම්මා. අක්කා මීගමුව මහ රෝහලේ පැවැත්වෙන ශල්‍යකර්මයට දින පැමිණෙනතුරු මම දිගටම මේ දේ කලා. හාස්කම් යාච්ඤාව අතරතුර මගේ ඉල්ලීම් ලිපිය දේව මෑණියන්ගේ ප්‍රතිමාව දෙසට දිගු කර ලිපියේ ඇති ඉල්ලීම සිතින් යොමු කරන විට මට දැනුනේ මගේ මේ ඉල්ලීම කවුරුන් හෝ අසාගෙන සිටින බවකුයි. මට ඒක හොඳටම දැනිලා තියෙනවා. ඒ හැම වෙලාවකම මට දැනුනේ මේ ඉල්ලීම කොහොමහරි ඉටු වන බවයි. ඒත් ඒ කොහොමද කියලා මම දැනගෙන හිටියේ නෑ.

 

මෙසේ කල් ගත වුනා. ජනවාරි මාසය උදා වුනා. මීගමුව මහ රෝහලෙන් දැන්වූ ලෙස 15 වන දින ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත නිසා ජනවාරි 14 වන දින ඇය මීගමුව මහ රෝහලට ඇතුලත් වුනා. එදා ඇය රෝහලට ආවේ ඇයගේ සැමියාත් සමගයි. එදා මමත් රෝහලට ගියා. අක්කව රෝහලට ඇතුලත් කල පසු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පින්තූරයක් මං අක්කට දුන්නා ළඟින් තියාගන්න. පසුදා උදෑසනම සැත්කම කල යුතු නිසා ඇය එදා සිටියේ ටිකක් භයෙන්. හවස් වෙලා මීගමුව රෝහලෙන් මම පිටත් වෙලා එන ගමන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට ඇවිල්ලා රෝස මල් ඉටිපහනකුත් පත්තු කරලා නැවතත් ගෙදර ගියා.

 

15 වෙනිදා උදෑසන 7.30 සැත්කම් කිරීම සඳහා වෙලාව ඇයට දන්වා තිබූ බවත් ඒ වෙනුවෙන් පාන්දරින්ම සූදානම් වෙන්න කියා වාට්ටුවෙන් ඇයට දැනුම් දුන් බවත් මට අක්කා දුරකථනයෙන් දැනුම් දුන්නා. ඒ නිසාම 15 වෙනිදා මම පාන්දරින්ම මීගමුව මහ රෝහලට ගියා. මම එන විට අක්කගේ සැමියත් රෝහලට ඇවිත් හිටියා. ඇය සැත්කමට සූදානම් වන පිණිස සුදු පාට ඇඳුමක් ඇඳගෙන හිටියා. තවත් කීප දෙනෙක් සැත්කම් සඳහා වාට්ටුවේ සූදානම් වෙලා හිටියා.

 

ශල්‍යකර්මය සිදු කරන නිසා ඇයට කෑම කන්න එපා කියලා නියම කරලා තිබුනා. රෝගීන් බලන වෙලාව ඉවර නිසා මම රෝහලෙන් පිටත් වුනා. අක්කාගේ සැමියා රෝහලේ නතර වුනා. මම ගෙදර ඇවිත් විනාඩි කිහිපයකට පස්සේ අක්කා මට කෝල් කරලා කිව්වා වෛද්‍යවරු කිව්වා මේ සැත්කම ටිකක් බරපතල නිසා සැත්කම කල පසු කවුරුහරි ළඟ ඉන්න ඕනා කියලා. මං ඉක්මනටම ඇඳුම් ටිකක් ලෑස්ති කරගෙන මීගමුව මහ රෝහලට ගියා. ගේට්ටුවෙන් ඇතුල් වෙලා රෝහලට ඇතුල් වෙන දොරටුව ළඟට යද්දි, අක්කා මං එනකම් බලන් ඉන්නවා දැකලා මම භය වෙලා අක්කා ළඟට ගිහින් ඇහුවා මොකද මේ ඔපරේෂන් එක කලේ නැද්ද කියලා. එතකොට එයා කියපු දේට මගේ ඇඟ හිරිවැටිලා ගියා.

 

ඇය කිව්වා, ‛‛මාව ඔපරේෂන් එකට ගන්න ඉස්සෙල්ලා වාට්ටුවෙදි ගෙඩිය පරීක්‍ෂා කරලා බලලා තියටර් එකට ගෙනිච්චා. තියටර් එක ඇතුලට ගියාම මට පිච්ච මල් සුවඳක් දැනුනා. ඒ සුවඳ හරියට මං වටේම කැරකිලා හමනවා වගේ මට දැනුනේ. ඒත් එක්කම ඩොක්ටර්ස්ලා ඇවිත් බෙල්ලේ ගෙඩිය පරික්‍ෂා කලා. ඒ අය ටිකක් කලබල වෙලා බෙල්ල පරික්‍ෂා කරනවා වගේ මට තේරුනා. ඩොක්ටර් එක පාරටම කිව්වා ගෙඩිය නෑනේ කියලා. මාත් භය වුනා. මං එතකොට කිව්වා ඉතින් ඩොක්ටර්ස්ලමනේ කිව්වේ ගෙඩියක් තියෙනවා කියලා මාස ගාණකට කලින් ඉඳන් පරික්‍ෂා කරලා බලලනේ මේ ගෙඩිය ඔපරේෂන් එකකින් ඉවත් කරන්න ඕනා කිව්වේ කියලා මම ඇහුවා. ඩොක්ටර් කිව්වා, ඔව් ඒක ඇත්ත. ගෙඩියක් ඔයාගේ උගුරේ තිබුනා. අපි ඒක දන්නවා. ස්කෑන් රිපෝට්ස්වලත් ඒක සටහන් වෙලා තිබුනා. ඒත් දැන් මේ ගෙඩිය එකපාරටම අතුරුදහන් වෙලා කියලා. මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා කියලා. ඒ වෙනකොට මගෙත් උගුරේ අමාරුව නැති වෙලා කියලා දැනුනා. මාත් භයෙන් භයෙන් ගෙඩිය තිබුන හරිය අත ගාලා බැලුවා, මාස ගාණක ඉඳන් අද උදේ වනතුරු මගෙ උගුරේ තිබුනු ඒ ගෙඩිය දැන් අහුවෙන්නේ නෑ. මට ඒ වෙලාවේ දැනුනේ භයක් එක්ක සතුටක්. එතකොට ඩොක්ටර්ස්ලා කිව්වා ඔපරේෂන් එක කරන්න අවශ්‍ය නෑ මෙයාව වාට්ටුවට ගෙනියන්න කියලා. ඉතින් මං මේ ඔයා එනවද කියලා බලන්න පහලට ආවා කියලා.’’

මට දැනුනේ මහා පුදුම සතුටක්. මම දේව මෑණියන්ගෙන් ඉල්ලපු දේ මට ලැබිලා. එතුමිය මගේ ඉල්ලීමට පිහිට වූ ආකාරය මහා පුදුමාකාරයි. මම ඇහුවා දැන් මොකද කරන්නේ කියලා. අක්කා කිව්වා වාට්ටුව භාරව ඉන්න වෛද්‍යවරයා එනකම් මට ඉන්න කිව්වා, ආයෙත් චෙක් කරන්න ඕනා කියලා. අපි ටික වෙලාවක් හිටියා. මේ වෙච්ච වැඩේ වාට්ටුවේ අනික් රෝගීන්ටත් ලොකු පුදුමයක්. ඒ අයත් අක්කා ළඟට ඇවිත් විස්තර අහනවා මොකක්ද මේ වෙච්ච ප්‍රාතිහාර්‍යය කියලා.

 

ටික වෙලාවකින් වාට්ටුව භාර වෛද්‍යවරයා ඇවිත් ඇයව පරික්‍ෂා කරලා කිව්වා දැන් උගුරේ ගෙඩියක් නෑ. ඔපරේෂන් එකක් අවශ්‍ය නෑ. දැන් උදේට කාලා ගෙදර යන්න කියලා. මේ දේ උනේ කොහොමද කියලානම් අපි දන්නේ නෑ. ඒත් කියන්න තියෙන්නේ දැන් උගුරේ ගෙඩිය අතුරුදහන් වෙලා කියලා විතරයි. දැන් ඔයාට 100% ක් හොඳයි කියලයි.

 

උගුරේ මෙවැනි ඔපරේෂන් කරපු අය ඒ වාට්ටුවේ හිටියා. ඒ අය දුක් විඳින හැටි මම දැක්කා. ඒ වෙලාවේ මට හිතට ලොකු සැනසීමක් දැනුනා. කටුනායක දේව මෑණියන් මගේ ඉල්ලීමට පිහිට වූ ආකාරය ගැන. ඒක හරිම පුදුමාකාරයි. අපි රෝහලෙන් පිටත් වෙලා කෙලින්ම ආවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයටයි. දර්ශන භූමියේ ස්ථාපිත කර ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේ රෝස මල් ඉටිපහන් පත්තු කරලා එතුමියට ස්තූති කලා. පුරා දශකයකටත් වැඩි කාලයක් කටුනායක දේව මෑණියන්ගෙන් මේ සිද්ධස්ථානයේ වැඩ වසන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන් මගේ ජීවිතය ආලෝකමත් වී තිබෙනවා. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය මහා හාස්කම් භූමියක්. මේ තැන දේව මෑණියන් ආපු ගිය තැනක් කියනවාට වඩා කියන්න ඕනා දේව මෑණියන් අදටත් එන යන තැනක්, අදටත් ඇතුලාන්ත ජීවිතයක් ගත කරමින් මේ සිද්ධස්ථානයේ වැඩ වසන ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අපේ ඉල්ලීම් වෙනුවෙන් දෙව් මවුන්ට ආයාචනා කරන බව මම දන්නවා. සෑම සෙනසුරාදාවකම පවත්වන මේ හාස්කම් යාච්ඤාව අතරතුර දේව මෑණියන් අපි දිහා බලාගෙන අපේ ඉල්ලීම් වලට සවන් දෙන බව මම හොඳාකාරවම දන්නවා. අන්න ඒ නිසයි හාස්කම් යාච්ඤාව අතරතුර දේව මෑණියන්ගේ ප්‍රතිමාව ජීවමාන වෙලා යම් යම් ජීවමාන ලකුණු පෙන්වන්නේ. මගේ මේ ඉල්ලීම ඔබතුමිය ඉටු කර දුන් ආකාරය මහා පුදුමාකාරයි.

 

ඒ වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ටත්, කටුනායක දේව මෑණියන්ටත් මං හදවතින්ම ස්තූති කරනවා. ඒ වගේම මගේ අක්කාගේ උගුරේ ඇති වූ මේ ගෙඩියේ ස්කෑන් පිටපත් හා වෛද්‍යවරුන් මේ වෙනුවෙන් ලබා දුන් සියළුම විස්තර මෙම ලිපියත් සමග අමුණා එවනවා.

 

ජේ. ඒ. සඳුනි දිලීකා
කලඑළිය, ජා-ඇල

July 31st, 2019

Posted In:

Copyright © 2007 - 2021 Apostolic Media Network. All Rights Reserved.