logo4

මම දේව මෑණියන්ගේ ශ්‍රේෂ්ඨ දරුවෙකු යයි කීමට හැකිවීම ගැන මම අවංකවම හොඳටම සන්තෝෂ වෙමි

එය සල්ලි වලින්වත්, දේපල වලින්වත්, උගත්කමින්වත් ලබා ගත හැකි දෙයක් නොවේ
දෙව් මවුන් දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානයේදී අපොස්තලික පියතුමා ප්‍රකාශ කරයි.

සතෙක් සර්පයෙක් නොවී මනුෂ්‍යයකු ලෙස මේ ලෝකයේ ඉපදීම මහත් වාසනාවක් ලෙස සලකන පුද්ගලයන් මිනිස් අප අතරේ සිටිනවා. මිනිසා දෙවිඳුන්ගේ සමානකමට මවා ඇති බව කිතුනු අපගේ විශ්වාසයයි. මේ අතර බල්ලෙක්, බළලෙක් නොවී මිනිසත් බව ලබා ඉපදීම කරදරයක් ලෙස තම මිනිස්කම ගැන කලකිරුන පුද්ගලයෝද සිටිනවා. මොනම ආකාරයට හෝ මේ ලෝකයට ඉපදීම ගැන දුක්වෙන මිනිස්සුත් ඉන්නවා. කොහොම හරි මනුෂ්‍යත්වය ලබා මෙලොව ඉපදී සිටින සෑම පුද්ගලයෙක්ම මතු දිනයක මරණයට මුහුණ දෙනවා. කිසිවෙකුටවත් කිසිම දිනයක මේ ලෝකයේ සෑමදාම ජීවත්වන්නට බැහැ. ඉතින් මේ ලෝකයේ ගත කරන කෙටි කාලය තුල ඇතැම් පුද්ගලයන්ගෙන් අනික් අයට නිතරම කරදර සිදුවෙනවා. ඇතැම් පුද්ගලයන් ජීවත්වන්නේ හරියට ඔවුන් ඉපදිලා ඉන්නේ අනික් අයට හිරිහැර කිරීම සඳහාම වගෙයි.

මේ අතරේ මිනිස් වර්ගයා වෙත යහපතක්ම කරන්නට ජීවත්වන මිනිස්සුත් ඉන්නවා. ඒ අය වෙතින් ජන සමාජයට කරදරයක්, කරච්චලයක් සිදුවෙන්නේ නැහැ. කාට හෝ යහපතක්ම පිහිටක්ම සිදුවෙනවා. එවැනි අයව සමාජය භාර ගන්නේ බොහෝ විට කරදරයක්, කරච්චලයක් ලෙසටයි. ඊට හොඳම බලගතු උදාහරණය තමයි ජේසු තුමා.

න්වහන්සේගෙන් මේ ලෝකෙට, මිනිස්සුන්ට යහපතක්මයි සිද්ධ වුනේ. ඒ වුනත් උන්වහන්සේ ජීවතුන් අතර වැඩ වසමින් මිනිස්සුන්ට යහපත, සහනය උදාකර දීමට වැඩ කරද්දී ඇතැම් අයට උන්වහන්සේව මහා මල කරදරයක් වුනා. උන්වහන්සේ වෙත පෑවාවූ වෛරය, උන්වහන්සේ මරා දමන තෙක්ම වැඩිවර්ධනය වුනා.

මම දන්නතාක් කල් අතීතයේ සිට පැවත එන පුරුද්දක් අපේ මිනිස්සු අතරේ තිබෙනවා. මේක හොඳ හැදිච්ච පුරුද්දක්ද නැතහොත් නැහැදිච්ච පුරුද්දක්ද කියල තීරණය කල යුත්තේ ඔබයි. කොතරම් යහපතක්, සේවයක් කරන පුද්ගලයාට වුනත් වෛර කරලා, පීඩා කරලා, නින්දා කරලා, අවමන් කරල මැරුණට පස්සේ නැත්නම් මැරුවට පස්සේ එම පුද්ගලයාට ප්‍රේම කරනවා, ප්‍රශංසා කරනවා. පුද්ගලයා නැති නිසා රූපවලට මල්මාල පළඳවනවා. ඔය වගේ ජීවතුන් අතර සිටියදී කල යුතු සියල්ලක්, මැරුණට පස්සේ හෝ මැරුවට පස්සේ කරනවා. ඉතින් මිනිස්සු අතර තියන මේ හැදිච්ච හෝ නොහැදිච්ච පුරුද්දට මුහුණ දුන් ශ්‍රේෂ්ඨතම තැනැත්තා හැටියට මම සලකන්නේ ක්‍රිස්තුස් වහන්සේවයි. ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ මෙලොව ජීවත්ව සිටිය අවුරුදු තිස් තුනක කාලය හැරුන විට සමාජයට යහපතක්ම කරමින් ජීවත්වූ අවුරුදු තුනක කාලය තුලදී සමාජය උන්වහන්සේට සැලකූ අන්දමත්, උන්වහන්සේව මරා දැමූ පසු අද උන්වහන්සේට සලකන අන්දමත්, ජීවත්ව සිටින කාලයේ පන ඇති ශරීරයට කෙළ ගහලා, කසයෙන් තලලා මිනිස්සු පීඩා කෙරුවත් අද පන නැති ප්‍රතිමා සෝදා ජලය පානය කරන අය සිටිනවා. සමාජයට කොච්චර හොඳ කෙරුවත් සමාජයෙන් පීඩා විඳින පුද්ගලයෝ එදත් හිටියා, අදත් සිටිනවා. කොහොමත් දෙවියන්ට හිතැති පුද්ගලයන්ට මිනිස්සු වෛර කිරීම පිළිබඳව ඉතිහාසය මතු කර දෙන අතීත සිදුවීම් අනන්තවත් තිබෙනවා.

අද මට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ, මෙලොව ජීවතුන් අතරින් වෙන්වී ගොස් ඇතත්, තවමත් නින්දා, පීඩා විඳින කාන්තාවක් ගැනයි. ඇගේ නම මරියා. අපි නම් ඇයට කියන්නේ නිර්මල කන්‍ය මරිය තුමී කියලයි. නමුත් සමහරු එතුමියට අවමන් කිරීමේ චේතනාවෙන්ම මරියා කියල හඳුන්වනවා.

තමන් කැමති විශ්වාසයක් දැරීමට මිනිස්සුන්ට නිදහස තියෙනවා. ඒ නිසා සෑම දෙනෙක්ම ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේට අපහාස කරන්නේ නැහැ. තම තමන්ගේ විශ්වාසය තම තමන් ළඟයි. නමුත් ඇතැම් අය මරිය තුමීට අපහාස කරනවා, නින්දා කරනවා.

මේ ලෝකයේ සිටියදීත් මරිය තුමී නින්දා විඳ දරා ගත්තා, දැන් මෙලොව නැති අතරෙත්, එතුමිය නින්දා විඳිනවා. මෙයට ප්‍රධාන හේතුව මරිය තුමී මගින් මෙලොව ජනතාවට විශාල බලපෑමක් ඇතිවෙලා තියෙනවා. මෙලොවදී එතුමිය ජීවත් වූ ආත්ම ශරීර පිටින්ම නැවත නැවතත් එතුමිය මේ ලෝකයට වැඩම කිරීම බොහෝ දෙනෙකුට ලොකු කරදරයක් වෙලා තියෙනවා.

අතීතයෙන් එක් නිදසුනක් ලෙස ලූර්දුව හැඳින්විය හැකියි. ලූර්දු නගරයට නිතර නිතර මරිය තුමී ස්වර්ගයේ සිට එන්න යන්න පටන් ගත්තා. එතුමියව දැකබලා ගැනීමටත්, එතුමියගේ පණිවිඩ ලෝකයට දැනුම් දීමටත් බර්නදෙත් සුබිරුස් නමැති ළදැරියව තෝරාගනු ලැබුවා. ඉතින් එම කාලයේදී ජීවත් වූ ඇතැම් පුද්ගලයන්ගෙන්, පූජකවරුන්ගෙන් මරිය තුමී හොඳට බැනුම් ඇසුවා. බර්නදෙත්ට දර්ශණය වන කාන්තාව යක්‍ෂණියක් කියලා ඔවුන් කිව්වා. එවැනි යක්‍ෂණියක් එන තැනට යාමත් වැරදි වැඩක් කිව්වා. ඇත්තටම යක්‍ෂණියක් ලෙස හැඳින්වූයේ කවුරුන්වද? ස්වර්ග රාජේශ්වරිය වන නිර්මල මරිය තුමියව නොවෙයිද? බර්නදෙත් තුමිය නින්දා වින්ඳේ, පීඩා වින්ඳේ කවුරුන් නිසාද? ලූර්දු ගුහාව තුලට වැඩම කල කන්‍ය මරිය තුමිය නිසා නොවෙයිද? එසේ නම් බර්නදෙත්ට කල නින්දා පීඩාත් මරිය තුමියටම කල දේ නොවෙයිද? ලූර්දු ගුහාව තුලට ඇවිල්ල තියෙන්නෙ කන්‍ය මරිය තුමීම තමයි කියලා පීඩා කරපු උදවිය දැනගන්නකොට මරිය තුමී ගුහාව තුලට පැමිණීම නතරවෙලා ඉවරයි. ‛‛හූ’’ කියල, ඊට පස්සේ කට වහගත්තට වැඩක් නෑ කියන්නෙ ඔන්න ඕවටයි.
අද ආයෙත් වරක් මරිය තුමීට බැනුම් අහන්න වෙලා. ඇයි? මරිය තුමී ආයෙත් කොහාට හරි එනව යනවද? ඔව්, මරිය තුමී ආයෙත් ලෝකයට එන්න පටන් අරන්. කොහාටද? ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට.

ලූර්දුවට මරිය තුමී එන යන කාලයේ එතුමියට බැන වැදුන පරිද්දෙන්ම අදත් කටුනායකට මරිය තුමී මේ එන යන කාලයේ එතුමියට අපහාස කරනවා. මෙහෙම කරන එක හරිම අපරාධයක්.

බලන්න මරිය තුමී මෙහි පැමිණෙන්නේ දෝත පුරා වරප්‍රසාද අරගෙනයි. මෙම වරප්‍රසාද ජනතාවට මොන තරම් ප්‍රයෝජනවත් වෙලා තියෙනවද?

මරිය තුමී අද කටුනායක දර්ශණය වන මේ කාලය, එතුමිය 1858 ලූර්දුවේදී දර්ශණය වෙන කාලයට වඩා හුඟාක් වෙනස්. ජේසු තුමාට ගරු කරන අතරේ, මරිය තුමියට අපහාස කරන උදවිය අද වැඩි වෙලා. ඇතැම් පිරිස් බයිබලය අතේ තබාගෙන මරිය තුමීට අපහාස කරන, එතුමියගේ සුරුවම් පොළවේ ගසා කුඩුකර දමන්න කියන කාලයකයි මරිය තුමී මට දර්ශණය වුනේ.

ජේසු තුමා සහ මරිය තුමී මා වෙත පැමිණෙන්න සිතුවේ කවදාදැයි කියන්න මම දන්නෙ නැහැ. ඒ වුනත් 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින තමයි පළමු වරට මරිය තුමී මා වෙත දර්ශණය වුනේ. ඊට දවස් දෙකකට පස්සේ එනම් 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින තමයි ජේසු තුමන් මා හට දර්ශණය වුනේ.

මරිය තුමී ශ්‍රී ලංකාවේදී මා හට දර්ශණය වීම ආරම්භයත් සමගම ඒ ගැන අකමැත්ත ප්‍රකාශ කරන්න මට හොඳටම ඉඩ තිබුනා. එහෙමත් නැත්නම් මරිය තුමී දැක ගැනීමේ සිද්ධිය හෙළි නොකර සිටින්නත් මට හොඳටම ඉඩ තිබුනා. නමුත් මම එහෙම කෙරුවේ නැහැ. මම ඉපදුන දා සිට 1975 පෙබ්‍රවාරි 4 වෙනි දින දක්වා මම මරිය තුමීව ඇසින් දැකලා තිබුනේ නැහැ. ඒ වුනත් මම මරිය තුමී ගැන හොඳට දැනගෙන තිබුනා. මට යමක්කමක් තේරෙන වයසේ ඉඳන්ම මගේ සිත තුල මරිය තුමීට ලොකු භක්තියක් තිබුනා. සෑමදාම මරිය තුමීට මම යාච්ඤා කරලා තියෙනවා. මරිය තුමී වෙතින් ඉල්ලා සිටිය යුතු ලොකු ලොකු අවශ්‍යතා මට තිබුනේ නැහැ. නමුත් මගේ විවිධ කටයුතු වලදී මම මරිය තුමීගේ පිහිට ඉල්ලා තිබෙනවා. එදා සිටම මගේ යාච්ඤාවලට මරිය තුමී පිහිට වෙලා තියෙනවා. එම නිසා 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින මරිය තුමී පළමු වරට මා වෙත දර්ශණය වෙද්දී මරිය තුමීත් මාත් අතර ඇතිවී තිබුන භක්තියත්, ප්‍රේමයත් අති විශිෂ්ඨයි. ඒ නිසා, මරිය තුමීට පිටු පාන්නට මට පුළුවන් කමක් තිබුනේ නැහැ.

මගේ ශුභසිද්ධිය නොව මරිය තුමීගේ අවශ්‍යතාවය ඉටු කර දීමයි මගේ ආශාව වුනේ. ඒ ටික තමයි මම දැනුත් කරන්නේ. මගේ ශුභසිද්ධිය ගැන බැලුවා නම් මට නිහක්‍ෂව සිටින්න තිබුනා. කිසිම රැකියාවක් නොකර, කිසිම මහන්සියක් නොවී සුඛෝපභෝගී දිවියක් ගත කරන්නට තරම් උවමනා මුදල් සහ දේපල උරුමයෙන් මට තිබුනා. ඒවා වැඩිදියුණු කරගත්තා නම් මට ප්‍රසිද්ධ ධනවතෙක් ලෙස ජීවත් වෙන්න තිබුනා. නමුත් මම මගේ යහපත ගැන නොවෙයි බැලුවේ. මගේ සේවය, මගේ හැකියාව, මා සතු දේ මරිය තුමී වෙනුවෙන් කැප කිරීමට තරම් හොඳ හිතක් මට තිබුනා. අන්න ඒ නිසයි මරිය තුමී වෙනුවෙන් මේ සෑමදෙයක්ම මම කරන්නේ. කටුනායක අප ස්වාමිදූට කැප කල මෙම සිද්ධස්ථානයෙන් පිහිට ලබන ඔබ පිහිට ලබා සතුටු වනවාට වඩා සතුටක්, පිහිට ලැබූ ඔබ දෙස බලා මම විඳිනවා. ඒ සතුට මගේ හදවත තුල සෑමදාම පවතින්න ඉඩ දෙන්න.
මරිය තුමී මාව අයත් කර ගැනීම ගැන මම දුක් වෙන්නෙ නැහැ. මරිය තුමී මා හට දර්ශණය වීම නිසා ලූර්දුවේ වගේ නැවත වරක් එතුමිය අවමන් නින්දා විඳින එකයි මට දුක. ඔබ අසවල් නිලධාරියාගේ, අසවල් දේශපාලකයාගේ, අසවල් දොස්තරගේ, ඥාතියෙක්, මිත්‍රයෙක්, දරුවෙක් යයි කී විට ඔබට ගරු බුහුමන්, ආධාර, උපකාර ලැබෙනු ඇති. එහෙත් මම දේව මෑණියන්ගේ ශ්‍රේෂ්ඨ දරුවෙකු යයි කීමට හැකිවීම ගැන මම අවංකවම, හොඳටම සන්තෝෂ වෙමි. එය සල්ලි වලින්, දේපල වලින්, උගත්කමින් ලබා ගත හැකි දෙයක් නොවේ.

ලබන සෙනසුරාදාටත් මා වෙත එන්න. මම ඔබට මරිය තුමී ගැන කියා දෙන්නම්.

(1988 මැයි 21 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැවති දේව මෙහෙයේ දී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා රැස්ව සිටි ජනතාව අමතා පැවැත් වූ දේශණයයි.)

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.