logo4

රහසින් දිළිඳුන් සොයා ගොස් සරණය වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා

අපේ සමාජය හරි අපූරු තැනකි. ඒ තුල ජීවත්වන්නෝ විටෙක අසුන්දරය. තවත් වරෙක බොහෝ සුන්දරය. ඒත් බොහෝවිට ඇසෙන්නේ අසුන්දර කතාය. නීතියක් නැති විනයක් නැති රටක කරාමය ඇරියා සේ සමාජ සම්මුතීන් බිඳ වැටෙමින් පවතී. එහෙව් සමාජයක ජීවත්වන බහුතරයක් මිනිසුන් අසුන්දර යයි කීම අයුක්ති සහගත යැයි මම නොසිතමි.
එහෙත් එවැනි සමාජ පරිසරයක් තුළ තවමත් නාය නොගිය මිනිසත්කමේ අර්ථය සමාජයට කියාදෙන සැබෑ මිනිසුන් ද අපට ඉඳහිට හමුවේ. මම මේ කියන්නට යන්නේ ද එවැනි අපූරු මිනිසෙක් ගැනය. දෙවියන් වැනි මිනිසෙක් ගැනය.

මෙම 2014 වසරේ පෙබ්‍රවාරි 2 වෙනි දින වයසින් අවුරුදු 57 ක් සම්පූර්ණ කරන්නාවූ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සම්බන්ධව බොහෝ දෙනෙක් නොදන්නා පැත්තක් පිළිබඳව කෙටි සටහනක් තබන්නේ මෙවැනි දේ සත්තකින්ම සමාජය විසින් දැනගත යුතුම නිසාය.

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දුගීන් වෙත ද, මහමග යාචකයන් වෙත ද, දුෂ්කර ජීවිත ගෙවන අසරණයන් වෙත ද, සමාජයෙන් කොන් කරනු ලැබුවන් වෙත ද දක්වන්නේ මහත් කරුණාවකි.

ඔවුන් වෙත උන්වහන්සේ දක්වන මේ සෙනෙහස අද ඊයේ සිට ආරම්භ වූවක් නොවේ. තිස්නව වසරක උන්වහන්සේගේ ශුද්ධවු අපොස්තුළු දිවිය තුල ඇති වූවක් ද නොවෙයි. උන්වහන්සේ කුඩා අවදියේ සිටම දුෂ්කර ජීවිත ගෙවන දුගී අයගේත්, මහ මග සිඟන යාචකයන්ගේත් අභිවෘධිය පිණිස බොහෝ දේ කරනු ලැබීය.

මීට වසර 57 කට පෙර, පෙබ්‍රවාරි පළමු වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ට උපත ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා උපතින්ම ඉතාමත් ධනවත් දෙමාපියන්ගේ පුතකු ලෙස ඉපදී, ඉතාමත් සැපවත් ජීවිතයකට උරුමකම් කියනු ලැබුව ද, තමන් විඳින සැප සම්පතින් ඉතා සුළු ප්‍රමාණයක්වත් නැති ජනතාවක් සමාජයේ අසරණව දුක් විඳින බව උන්වහන්සේට අවබෝධ වූයේ, උන්වහන්සේගේ වයස අවුරුදු අට පමණ දීය. අප එසේ කීමට හේතුව තතු දත් අය පවසන්නේ මේ ශුද්ධවු අපොස්තුළු තුමා වසර 1965 දී පමණ සිට මහ මඟ සිඟන යාචකයන් වෙත විශේෂ උනන්දුවක් දක්වා ඔවුන්ට මිල මුදලින් හා ආහාර පරිත්‍යාග කිරීමෙන් සරණය වීමට ආරම්භ කරනු ලැබූ බවයි.

බැතිමතුන්ගේ පක්‍ෂුරු මුදලින් නොව, සිය ධනවත් දෙමාපිය උරුමයෙන් ලද දේපල සහ මිල මුදලින් අදටත් ජීවත්වන මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, එදා මෙන් අදත්, ඒවා තම සැපතටම පමණක් තබා නොගෙන, මහමග යාචකයන් ගේද, දුෂ්කර ජීවිත ගෙවන අසරණයන් ගේද, සමාජයෙන් කොන් කරනු ලැබුවන් ගේද ජීවිත සැපවත් කරනු සඳහා යොදවන්නේ ප්‍රසිද්ධියේ නොව ඉතාමත් රහසිනි.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ගමනක් යන විට කිසියම් ස්ථානයක මෝටර් රථය නතර කරනු ලැබුවහොත්, මෝටර් රථය නතර කරන ස්ථානයට පැමිණ දෑත දිගු කර යමක් ඉල්ලා සිටින කිසිම යාචකයෙකුව හිස් අතින් යවන්නේම නැත. මේ නිසාම කොළඹ නගරයේ ඇතැම් යාචකයන් උන්වහන්සේගේ මිතුරන් බවට පත්වී ඇත. මෝටර් රථය දුටු විගසම ඔවුන් සිනහ මුසු මුහුණින් උන්වහන්සේ වෙත දුවගෙන එන්නේ, පියෙකු වෙත ඇදී එන දරුවන් ලෙසින්ය.

මේ සියළු දෙයක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ක්ෂණිකව සිදු කරනු ලබන ක්‍රියාවන් නිසා මෙවැනි දේ ඡායාරූප ගත කිරීමට අපොස්තලික මාධ්‍යයට බොහෝ විට නොහැකි වූවත්, මෑතක දී සිදුකල ක්‍රියාවක් අපොස්තලික මාධ්‍යයට හසුකර ගැනීමට හැකි විය.

2013 නොවැම්බර් 6, 7, සහ 8 දිනවල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා නුවරඑළියේ නිවාඩුවක් ගත කල අතර, උන්වහන්සේ එහි සිටිය දී නුවරඑළිය බංගලාව වෙත පැමිණි දුෂ්කර ජීවිත ගෙවන පිරිසක්, තම අග හිඟකම්ද, තම දරුවන්ට පාසල් පොත් නැතිකමින් අධ්‍යාපන කටයුතු නැවතී ඇති අන්දම ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට ප්‍රකාශ කලහ. ජාතිය ආගම ගැන නොව මනුස්සකම සලකා සියලු අඳෝනාවන්ට සවධානව සවන් දුන් උන්වහන්සේ, නත්තලට පෙර ඔවුන් දැකීමට පැමිණෙන බව පැවසූ සේක.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මෙම පොරොන්දුව නිසා, නත්තලට පෙර උන්වහන්සේ මේ දිළිඳු ජනතාව සොයා යන බව අපට වැටහුනි. ඒ අනුව අපොස්තලික මාධ්‍ය ජාලය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය.

නත්තල් සමයේ අධික වැඩ කටයුතු මැද වූවද, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය පොරොන්දුව අමතක කලේ නැත. දෙසැම්බර් 17 සහ 18 දිනවල මේ සඳහා සූදානම් කරන ලෙස අපට දැනුම් දුන් බැවින්, අපොස්තලික මාධ්‍ය ජාලය ද සිය කැමරා, වීඩියෝ කැමරා ආදී කැමරා ආම්පන්න සූදානම් කරන්නට වූයේ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් අනුවය.

රහසින් දිළිඳුන් සොයා යන අපොස්තුළුතුමාට මෙම ගමන රහසින් යාමට නොහැකි විය. අපොස්තලික මාධ්‍ය ජාලයේ කැමරාකරුවන් උන්වහන්සේ පිටුපසින් ම විය. පසුගිය 2013 දෙසැම්බර් 17 සහ 18 දෙදින තුල උදේ, දහවල් සහ රාත්‍රියේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා උන්වහන්සේගේ ම පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් හාල්, නූඩ්ල්ස්, පිටි, සීනි, ටින් කෑම, ළදරු ආහාර, චොක්ලට්, ටොෆී, බිස්කට් වැනි දේ පමණක් නොව පාසල් දරුවන්ට පොත් සහ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ද රැගෙන දියතලාව, නානුඔය, නුවරඑළිය ප්‍රදේශයන්හි තේ වතුවල සේවය කරන දුෂ්කර ජීවිත ගෙවන ජනතාව සොයා ගියේ ජාති ආගම් භේද කිසිවකින් තොරවය. දුෂ්කර පාරවල් ඔස්සේ, තේ වතු මැදින් ඔවුන්ගේ පේලි ගෙවල්වල ඇවිදිමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ආහාර ද්‍රව්‍ය සහ පාසල් පොත් බෙදා දුන් අන්දම මෙම පත්‍රයේ මුල් පිටුවෙන් ද, මෙම පිටුවෙන් ද ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.

අනෙකාගේ දේ කඩා වඩා ගැනීමට දතකට මැදගෙන සිටින සමාජ පසුබිමක් තුළ, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වාසය කරන අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සමාජයට දෙන්නේ අපූරු පණිවිඩයකි.

එය පාඨමාලාවක් කොට හැදෑරීම මේ සමාජයේ වගකීමය.

සශික විෂාන්
අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.